තාන් තීන් තිලක නදින්... නටන්න වෘත්තීය සමිති වන්නම | දිනමිණ

තාන් තීන් තිලක නදින්... නටන්න වෘත්තීය සමිති වන්නම

මාක්ස්ගේ කොමියුනිස්ට් ප්‍රකාශනයට සියවසකට පමණ පෙර නූතන වෘත්තීය සමිති ව්‍යාපාරය ආරම්භ විය. පාඨකයා වෙත අවධාරණය කරනු කැමැත්තේ, මෙසේ ව්‍යාපාරය නම් ලද පමණින්, ඒවා බිස්නස් ලෙස වටහා නොගන්නා ලෙසය. ඒ කාලයේ ඒ තරමට වෘත්තීය සමිති ව්‍යාපාරය ‘මෝරා’ ගොස් තිබුණේ නැත. 1786දී ෆිලඩෙල්ෆියාහි මුද්‍රණකරුවන් පිරිසක් ආරම්භ කළ වැඩ වර්ජනය ලෝකයේ ප්‍රථම වැඩ වර්ජනය ලෙස සැලකේ. ඒ වෘත්තීය ක්‍රියාමාර්ග වේ. නූතන වෘත්තීය සමිතිහි මූලාරම්භය 18 වැනි සියවසේ බ්‍රිතාන්‍යය දක්වා දිව යන අතර, ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය ද වසර 130ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන්නේය.

අද මේ තීරුව සිය ප්‍රධාන අරමුණ කර ගෙන ඇත්තේ, වෘත්තීය සමිති නායකයන්ගේ කෙරුවාව හෙළි කිරීමය. මේ අහිංසක පහේ, යුනියන් ලීඩර්ස්ලා ගැන කතාවක් නොවේ. රටේ ප්‍රධාන වෘත්තීය සමිති නායකයන්ගේ හැටි කියාපෑමකි.

සියලුම වෘත්තීය සමිති නායකයෝ මේ දක්වා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර නොමැති බවත් වත්කම් හා බැරකම් පනතේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් කම්කරු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසූ බව, ඊයේ මාධ්‍ය වාර්තා කර තිබුණි. සටන් සඳහා පාරට බහින ගොබිලලාගේ තත්ත්වය එසේය.

වත්කම් හා බැරකම් ප්‍රකාශ යොමු කරන්නැයි වෘත්තීය සමිති නායකයින් වෙත, මීට පෙර දැනුම් දී ඇතත්, වත්කම් හා බැරකම් පනතට අනුව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල වෘත්තීය සමිති නායකයෝ, වත්කම් හා බැරකම් ප්‍රකාශ, කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාට තවම යොමු කර නැතැයි ද එම වාර්තාවේ සඳහන් විය. උඩු බුරාගෙන ඇවිත්, තම කරේ ඇති අළු පිස දමාගෙන, කෙරුවාව තවත් පතුරුවා ගන්නේ නැතිව ඉන්න යැයි පළමුව මේ පිරිසට දැනුම් දෙමු. මෙහෙම කතාවක් කී සැණින්, විප්ලවීය ආශ්වාදයෙන් කුල්මත්ව, වැයික්කියේ චණ්ඩින් සේ හැසිරෙන නායකයෝ රැසක්, වෘත්තීය සමිති ව්‍යාපාරයේ සිටිති. අනුන්ට මඩ ගසා සහ අනුන්ගෙන් කා බී සිටින ‘මේ ජාතිය’ තමන්ගේ අඩුවක් පෙන්වූ සැණින්, කාවඩි වන්නමට පිවිසෙන්නේය. කතරගම ඇසළ පෙරහර ඊයේ රාත්‍රියේ අවසන් විය. එතැනදී කාවඩි නැටීමේ රඟ, ජනතාව දැක ගන්නේය. වැඩේ කියන්නේ මේ දෙකම එකය. කාවඩි සහ වෘත්තීය සමිති අතර සමානකම් නම්, නැටුම් දෙක සඳහාම අඳින්නේ රතෙනි. ඒ නැටුම සඳහා පිටින් ‘බෑන් චූන්’ ගැසිය යුතුමය. එහෙම නැත්නම් නැටුමක් නැත. කාවාඩිය කරේ තබාගෙන ඇවිද ඇවිද සිටිය හැකිය.

අද දිනයේ වෘත්තීය සමිති යනු ‘පක්ෂ’ ගසන ‘බෑන්’ එකට ‘චූන්’ වී නටන දේශපාලන කාවඩියක් මිස, කම්කරු ව්‍යාපාරයේ අංගයක් නොවේ. කම්කරුවා දෙවනුවට දමා පක්ෂයේ අවශ්‍යතාව මත, ආණ්ඩු මට්ටු කිරීම නූතන ලාංකේය වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රධාන ලක්ෂණයකි. මේ නිසාම, සේවකයෝ අද යුනියන් සඳහා බැඳෙන්නේ, පඩි වැඩි කර ගැනීමටය. ඊළඟ පට්ටම සඳහා සුදුසුකමක් ලෙස ද ‘යුනියන් මෙම්බර් ෂිප් එක’ අවශ්‍යය. ඒ මිස, කම්කරු අයිතීන් වැනි මූලික කාරණා සඳහා දැන් යුනියන් භාවිත නොවන තරම්ය.

වෘත්තීය සමිති නායකයෝ, සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර සිටීම සඳහා ද මෙය බලපා තිබේ. වෙනදා සිටි ‘ජනතා දුක දැනෙනා නහරය’ මේ වෘත්තීය සමිති නායකයින් වෙත පිහිටාම නැත. එහෙම එක් අයෙක් දෙදෙනෙක්, පහළ මට්ටමෙන් සිටිනවා ද ඇත. ඒත් ප්‍රධාන නායකයෝ සියලු දෙනා හොඳ ‘මුට්ට කාසි කාරයෝය’. එදා රෝහණ විජේවීර පැරණි වමේ වෘත්තීය සමිති ව්‍යාපාරය හැඳින්වූවේ, ‘මුට්ට කාසි’ ව්‍යාපාරය ලෙසය. කොහෙන් හෝ ලැබෙන සම්මාදමකට, කම්කරු සටන් පාවා දෙන ව්‍යාපාරයක් ලෙස එය හැඳින්වූ විජේවීර, අද වෘත්තීය සමිතිකාරයෝ, කප්පම් ගන්නා ආකාරය දැක්කා නම්, එයට කියනු ඇත්තේ, සම්භාව්‍ය පාතාල ලෝකය කියාය. ගමේ නම මුලට දමා, අවියෙන් සෙල්ලම් දමන චණ්ඩින්ට පමණක් පාතාල ලෝකය කිව නොහැකිය. ඔබ දන්නා වෘත්තීය සමිතිකාරයෙක් මතකයට නඟාගෙන, දන්නා කියන අයගෙන් ඔහුගේ කෙරුවාව අසන්න. මාසයකට වටයක් ඔහු සිය ‘නින්දගමේ’ ඇවිදින්නේය. ඒ කම්කරුවාගේ දුක සැප සොයා බලා, ඔවුනට හිමි, අහිමි දේ ගැන සෝදිසියෙන් හිඳ ඉල්ලීම් දිනා ගැනීමට නොවේ. තමන්ගේ මාසේ ගාණ සාක්කුවේ දමාගෙන යෑමටය. මේ රටේ ආයතන විසිහතර දාහකට අධික ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදල, පාරිතෝෂික දීමනා ලබාදී නැත. ඒ වෙනුවෙන් කම්කරු දෙපාර්තමේන්තුව නඩු පවරා තිබේ. එසේ වෙද්දී, ඒ වෙනුවෙන්, වෘත්තීය සමිති නායකයෝ මෙලෝ මළ දානයක් ඉටු කර නැත.

පොඩි එවුන්ගේ ලෝකයේ සරුංගල් ඇරීම සඳහා හොඳ තැන ගෝල්ෆේස් වෙද්දී, අඳ බාලයන්ගේ විරෝධතා දිග හැරීම සඳහා හොඳම තැන වී ඇත්තේ, ගාලු මෝදරට යන, ලෝටස් පාරය. මෙතැනට ඇවිත් පක්ෂය වෙනුවෙන් ආණ්ඩු රිද්දන්නට, නට නටා සිටින ‘වෘත්තීය සමිති කාවාඩි කණ්ඩායම’ පාරිතෝෂිකය සඳහා ඒ ඒ ආයතන වෙට්ටු දමන විට සද්ද නැත. ඊපීඑෆ් එකට එම ආයතන සල්ලි නොදැමුවා කියා වගක් නැත. සමහර විට ඒ සඳහා පක්ෂය ‘බෑන් චූන්’ නොගසන නිසා, නැටුමට අවස්ථාව නැතිව සිටිනවා විය හැකිය. මාසෙකට වරක් ‘මල්ලි එන්න’ කියා දෙන ‘මුට්ට කාසි’ පාරට නිහඬ රංගනයක යෙදෙන බැවින්, කම්කරුවන්ගේ ඇත්ත ප්‍රශ්න මේ බැලයන් වෙත පෙනෙන්නේ නැතිව ඇතිය.

එහෙම මල්ල පුරවා ගත් සඳ, කෙසේ වත්කම් හිමිකම් ලබා දෙන්නද...? ඒ නිසා වෘත්තීය සමිති ව්‍යාපාරයේ ඊළඟ සටන විය යුත්තේ, වෘත්තීය සමිති නායකයන් සඳහා මෙවැනි වත්කම් හිමිකම් ප්‍රකාශ ලබාදිය යුතු යැයි සඳහන් නීතිය ඉවත් කර ගැනීම සඳහාය. ‘දැන් ඉතින් ඒ සටනට සැරසියවු...!’

නව අදහස දක්වන්න