වරාය අධ්‍යක්ෂගේ නිවෙසින් කෝටි එකහමාරක රන්-මුදල් කොල්ලකෑ 3ක් අත්අඩංගුවට | දිනමිණ

වරාය අධ්‍යක්ෂගේ නිවෙසින් කෝටි එකහමාරක රන්-මුදල් කොල්ලකෑ 3ක් අත්අඩංගුවට

වරාය අධිකාරියේ මානව සම්පත් අධ්‍යක්ෂවරයාගේ බොරලැස්ගමුව කටුවාවල නිවසට උල් පිහියක් රැගෙන ඇතුළු වී මෙහෙකාරිය බියගන්වා රුපියල් කෝටි 1 ½ ආසන්න වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අතර, කොල්ලය සිදුකළ පුද්ගලයා, කොල්ලය සැලසුම් කළ පුද්ගලයා සහ කොල්ලයේ දේපොළ සඟවාගෙන සිටි පුද්ගලයාද වන බව පොලිසිය සඳහන් කරයි.

එම නිවසින් කොල්ලකා තිබූ රුපියල් ලක්ෂ 35ක මුදලින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක්, ඇමරිකානු ඩොලර් 10950ක්, රුපියල් ලක්ෂ 40කට ආසන්න රන් ආභරණ මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබූ ජීව අත්බෝම්බයක් මෙන්ම හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 24ක් පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් මස 12 දින මෙම කොල්ලය සිදු වී තිබිණි.

මෙහෙකාරියගේ සැමියා සහ දරුවා දින කිහිපයක සිට අධ්‍යක්ෂවරයාගේ නිවසේ නැවතී සිට ඇති අතර, ඔවුන් ගම් ප්‍රදේශයට ඇරලීම සඳහා මෙහෙකාරිය මහරගමට ගොස් නි‍ෙවස වෙත පැමිණෙනවාත් සමඟම ඇයගේ පිටුපසින් පැමිණි නාඳුනන පුද්ගලයකු මරණ බවට තර්ජනය කරමින් ඇයගේ අත් ඉදිරිපස කර ගැට ගැසූ බවත් මෙහෙකාරිය පොලිසිය හමුවේ එදින ප්‍රකාශ කර තිබිණි.

අනතුරුව කොල්ලකරු විසින් මෙහෙකාරි අමතා නි‍ෙවස තුළ තිබෙන වටිනා භාණ්ඩ තිබෙන තැන් පෙන්වන ලෙසට තර්ජනය කර ඇති අතර, මෙහෙකාරිය විසින් එම ස්ථාන පෙන්වීමෙන් අනතුරුව කොල්ලකරු එම දේපළ රැගෙන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

මෙම කොල්ලය සැලසුම් කර තිබුණේ අධ්‍යක්ෂවරයාගේ නිවසේ වහලය පිළිසකර කිරීම සඳහා අවස්ථා කිහිපයක දී පැමිණි පුද්ගලයකු බවට විමර්ශනවලදී අනාවරණය විය.

ඔහු ඒ සඳහා උලපනේ ප්‍රදේශයේ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු යොදවා කොල්ලය සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

එම සැකකරු සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මහරගම ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොල්ලයේ සුලමුල අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම කොල්ලය සැලසුම් කළ පුද්ගලයා කලකට ඉහත දී අධ්‍යක්ෂවරයාගේ නිවසේ වහලය පිළිසකර කළ පුද්ගලයා බවට අනාවරණය වීමෙන් අනතුරුව නිලම්මහර ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම නිවසින් කොල්ලකා තිබූ මෙරට මුදල් තුන්ලක්ෂ හතළිස්පන්දහසක මුදලක්, ඇමරිකානු ඩොලර් 1500ක් මෙන්ම හොරයින් මත්කුඩු මිලිගෑම් 12400ක් පොලිස් භාරයට ගැනිණි.

අනතුරුව එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී කොල්ලයේ තවත් දේපළ තොගයක් සඟවාගෙන සිටි පුද්ගලයකු බෙල්ලන්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම සැකකරු සන්තකයේ තිබී එම නිවසින් කොල්ලකන ලද රුපියල් ලක්ෂ 35කට අධික වටිනා රන් භාණ්ඩ, අ‍ෙමරිකානු ඩොලර් 9450ක් මෙරට මුදල් හාරලක්ෂ විසිදහසක් මෙන්ම හොරයින් මත්කුඩු මිලිග්‍රෑම් 11200 පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම විවිධ අපරාධවලට සම්බන්ධ වූවන් බවත් විවිධ අධිකරණවල නඩු විභාග වෙමින් පවතින පුද්ගලයන් බවත් පොලිසිය කියයි.

සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත එවකට කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. සී. ජයමහ, නුගේගොඩ දිස්ත්‍රික් එක සහකාර පොලිස් අධිකාරී රොහාන් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න, පොලිස් පරීක්ෂක මුදිත ප්‍රියංකර දල්පදාදු, උප පොලිස් පරීක්ෂක ජයසූරිය, පොලිස් සැරයන් 36763 සමන්, 68732 අමරසිංහ, පොලිස් කොස්තාපල්වරුන් වන 51857 විපුල, 88112 බුද්ධික, 92525 මාලන්, 79563 රූපසිංහ, 94121 ඒකනායක, 98678 වීරසිංහ, 92527 ප්‍රසාද්, 103537 කාවින්ද, 99093 ධනංජය, 89769 ලසන්ත, කාන්තා පොලිස් කොස්තාපල් 13339 නිර්මලා මහත්ම මහත්මීහු පරීක්ෂණ පවත්වති.

බණ්ඩාරගම - බිමල් ජයසිංහ, නුගේගොඩ සමූහ - දෙහිවල ඩී. හේරත්

නව අදහස දක්වන්න