රිළවු චීනයට - මේ සෙට් එක පෝමෝසාවට | දිනමිණ

රිළවු චීනයට - මේ සෙට් එක පෝමෝසාවට

අලි සහ බලි බලා එපා වෙන්නේ නැත. ඒ වුණාට ‘අලි ලැබී’ ටික දිනකින් ඒ සතාට අපි එපා වී ඇත. 2001 වසරේ චන්ද්‍රිකා ජනාධිපතිනිය වෙත තායිලන්තයෙන් තෑග්ගක් ලැබුණි. ඒ ‘සක් සුරින්’ඇත් පැටවාය. සක් සුරින් කියන්නේ සුරින් පළාතේ ගෞරවය යන තේරුමය. තායිලන්තයේ ඊසාන දිග පිහිටා ඇති ‘සුරින්’ අලි ඇත්තු සඳහා ප්‍රසිද්ධය. ඒ පළාතෙන් සිදු කෙරුණු ගෞරවයක් ලෙස ඇතෙකු අපිට තෑගි ලැබුණේය.

අලි ඇත්තු සිහිනයෙන් දකිනවා කියන්නේ ද සෞභාග්‍යය උදා වෙන කාරණාවකි. ඇසළ පොහෝ දිනක මහාමායා දේවිය සිහිනයෙන් දුටුවේ සුදු ඇත් පැටියෙක් සුදු නෙළුමක් රැගෙන සිරි යහන පැදකුණු කර දකුණු ඇලයෙන් සිය සිරුරට ඇතුළු වෙන ආකාරය ය. අද අධි ඇසළ පොහොය දවසය. ඒ පුණ්‍යවන්ත සිද්ධිය වන්නේ ඇසළ පුන් පොහෝ දිනකය. ඒ පොහොය යෙදී ඇත්තේ ලබන මාසයේ මුලටය.

සිහිනෙන් දුටු විට එහෙමට සැපයක් ඇති ඇතෙකු තෑග්ගක් ලෙස ලැබෙනවා කියන්නේ ඇතෙක් බරට වස්තුවක් ලැබෙනවාට පමණක් දෙවැනි වෙන කතාවකි. එහෙව් සතා ආපසු යවන තැනකට අප පත් වුණේ ඇයි...? අලියාගේ වලිගයේ එල්ලී දිව්‍ය ලෝකයේ ගිය ගම පවුලේ කතාවේ මෙන්, මේ ඇතා ද ඊයේ ‘උඩින්’ තායිලන්තයට ගියේය.

කොහොමටත් ලැබුණු දේ පරිස්සම් කර ගැනීම සම්බන්ධයෙන් මිනිසා සිටින්නේ පහළ තැනකය. ගිය ඇතා ගැන කතා අඩු කර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන කතාවට යා යුතුය. ශ්‍රී ලංකාවේ බුද්ධිමය සම්ප්‍රදානය උදෙසා ලද ත්‍යාගයක් ලෙස පේරාදෙණි සරසවිය හැඳින්විය හැකිය.

විශ්වවිද්‍යාලයක් පිහිටුවීම පිළිබඳව ලංකාවේ මුල්ම අදහස ඇතිවූ කල්හි එයද අරගලයක් බවට පත්විය. 1926දී ලංකාවේ ආණ්ඩුකාර තනතුරට හියූ ක්ලිෆර්ඩ් පත්ව ආවේය. හේ මෙහි පැමිණෙන විට සරසවි වාදය උත්සන්න වී තිබුණි. වාදයේ මාතෘකාව වූයේ විශ්වවිද්‍යාල ආකෘතිය ආදිය ගැන නොවේ. පිහිටුවන භුමිය පිළිබඳවය. යෝජිත විශ්වවිද්‍යාලය කොළඹ පිහිටවිය යුතු බවට සර් ජේම්ස් පීරිස් ඇතුළු ප්‍රමුඛ පිරිසක් කියා සිටි අතර අනෙක් පාර්ශ්වය ලෙස ඩී. ආර්. විජයවර්ධන ඇතුළු පිරිසක් ඒ සඳහා මහනුවර ප්‍රදේශය යෝජනා කැර තිබුණි. උසස් අධ්‍යාපන හා පර්යේෂණ වැනි බුද්ධිමය ක්‍රියාකාරකම් සිදුකරන විශ්වවිද්‍යාලයත් පිහිටුවිය යුත්තේ උෂ්ණාධික දේශගුණයක් ඇති කොළඹ වැනි නගරයක නොවන බව විජයවර්ධන පාර්ශ්වයේ අදහස විය. ඒ වන විට යෝජිතව තිබූ බූලර්ස් පාරේ භූමි භාගය ආණ්ඩුකාර මන්දිරයක් සඳහා යොදා ගත හැකි බවත් කියමින් ඩී. ආර්. විජයවර්ධන සහ වෛද්‍ය එස්.සී. පෝල් දෙදෙනා 1926 පෙබරවාරියේ දී ක්ලිෆර්ඩ් ආණ්ඩුකාරවරයාට සන්දේශයක් ඉදිරිපත් කළේය. වැඩේ පැත්තක තිබියදී ඉඩම ප්‍රශ්නයක් වූ මේ වාදය වසර දොළහක් පුරා ඇදී ගියේය. සමකාලීන වාර්තාහි මේ ‘යුද්ධය’ හදුන්වා දී ඇත්තේ භූමි භාග සටන (battle of the site) ලෙසය.

තත්ත්වය තේරුම් ගත් ආණ්ඩුකාරවරයා විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට සුදුසු භූමි භාගයක් සෙවීම සඳහා විනිසුරු අක්බාර්ගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළේය. අද කොමිසම් වූ කලී නැති ප්‍රශ්න ඇති කරන සහ මුල ප්‍රශ්නය වටේ යවන වැඩ කල් දමන මාදිලියක් වුවද මේ කොමිසම සිරාවට වැඩේට බැස්සේය. අවසන් නිර්දේශය වූයේ මහනුවර දුම්බර මිටියාවතේ භූමි භාගයක විශ්වවිද්‍යාලය ඉදිකිරීම යෝග්‍ය බවය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇති වන්නේ එහෙමය. මහාචාර්ය සුචරිත ගම්ලත්හු රචිත ගුරු ගුණ සමර ග්‍රන්ථයේ දැක්වෙන්නේ ‘එකල පේරාදෙණිය මිහිබට සුරපුරයක්’ කියාය.

ඕපන් ඩේ එකක් ප්‍රකාශයට පත් කර සෙනසුරාදා දිනයේ අවුලක් ඇති කරන ලද්දේ ඒ සුරපුරයේය.

මේ පේරාදෙණි පරිපාලනය සමඟ අඩව් ඇල්ලීමක් නොවේ. හොඳ හිතින් කළද, වැඩේ ගැන අවබෝධයක් තිබිය යුතුය. සඟරාජ හාමුදුරුවන්ගේ බලු දානය ගැන කතාව නුවර වැයික්කියේ රජ කාලයේදී ලද අත්දැකීමකි. පෙර ඇගයුමක් නොමැතිව ගේට්ටු හැර දමා දවසින් ඒ සරසවි බිම අවුලක් කිරීමේ ‘ගෞරවයෙන්’ පංගුවක් විශ්වවිද්‍යාල පරිපාලනයට ද යා යුතුය. අනිත් පංගුව ඇත්තේ එය නැරඹීම සඳහා පැමිණි ගොන් ගස් වෙතය.

‘ඕපන් ඩේ’එක පේරාදෙණියේ ‘ක්ලෝසින් ඩේට්’ එක කියා යම් පිරිසක් සිතන්නට ඇත. කොහේ ගියත් අපේ හැටි ඔහොම තමයි කියා හන්දියට පාරට බසයට දුම්රියට යන ආකාරයෙන් ඒ භූමියේදී ද හැසිරුණා විය හැකිය. පනස් දාහක් එන වැඩේට ලක්ෂ දෙකක් ආ විට ද ඔහොම ඒවා විය හැකිය. විශ්වවිද්‍යාල පරිපාලනය නම් කියන්නේ ෆේස්බුක් එකේ දමා ඇති තරමේ හානියක් ‘සරසවියට’ වී නැති බවය. එහෙම නම් කම් නැත. හැබැයි වැඩේ හංගනවා නම් එතැනද අවුලකි.

මේ තීරුවට දැන් යෝජනාවක් තිබේ. වගා හානි කරනවා යැයි රිළවුන් රට පටවන්නට ඇමැති අමරවීර යෝජනා කළේය. පයින් ගියා නම් උන් දැන් චීනයේය. ඒ වැඩේ වුණේ නැත. මේ රටේ වගා හානියට වඩා ඇත්තේ මේ ජාතියේ හානිය. පාර අයිනේ කුණු බෑග් දමන එකාලා තාම ඇත. බසයේ කෝච්චියේ රට කජු පොතු ආදියේ සිට ඇත. නැත්තේ පොල් කුඩු සබන් දවටන ආදිය පමණය. එහෙම රටක ආර්ථිකය මෙහෙම තියෙන එකද ඇතිය. මිනිස්සු හිතන විදිහ දැනගත හැක්කේ, කතාවෙන් සහ ක්‍රියාවෙන් පමණක් නොවේ, හැසිරීමෙනි. ප්‍රසිද්ධ ස්ථානයක හැසිරීම පාඩම් පොතට ගෙන එන තැන දක්වා මේ රටේ සමහර උන් දැන් පරිණාමයේ විලෝමයට යමින් තිබේ. ඒ නිසා මේ ගැන්සිය අවසානයේදී රිළවු සමඟ සමපාත වනවා ඇත. ඒ සෙට් එක මුලින්ම පෝමෝසාවට හෝ අතහරින තෙක්, ප්‍රශ්නය අහවර නොවනු ඇත.

නව අදහස දක්වන්න