අපායට ද යන්නේ මෙන්න ප්‍රවේශේ | දිනමිණ

අපායට ද යන්නේ මෙන්න ප්‍රවේශේ

අපායට යන්න හරි හොරට වීසා ගසනවා කිවහොත්, මේ රටේ බහුතරයක් ඒ පෝලිමේ ද සිටිනවා ඇත. ඒ තරමට වීසා ආශාව අපේ එවුන්ට තදවී තිබේ. අර්බුදයක් යනු ‘සල්ලි ගායෙන්’ පෙළෙන එකාට, ව්‍යාපාරික අවස්ථාවකි. අස්වැසුම සම්බන්ධයෙන් යම් අර්බුදයක් නිර්මාණය විය. තමන් ද ප්‍රතිලාභී නාම ලේඛනයේ සිටිය යුතු යැයි රට වටෙන්ම, උද්ඝෝෂණ ගලා ආහ. ඒ සඳහා ආණ්ඩුව ක්ෂණික ප්‍රතිචාර දක්වා සිටියේය. අස්වැසුම සඳහා ලියාපදිංචි වන ආකාරය සම්බන්ධයෙන් ජනතාවට එතරම් දැනුමක් තිබුණේ නැත. අන්තර්ජාලය යනු ද එක්තරා පන්තියක භාවිතාවකි. රෑට කන්නට සල්ලි නැති වුවද, ඩේටා පැකේජය සඳහා රීලෝඩ් එකක් දමා ගන්නේ නැතිව බැරිය. බඩගින්න ද දෙවැනියට දමා ඩේටා තිබහට අපි තැන දෙන්නේ වුවද, ඒ ලෝකයේ සිය මානය තුළට ඇතුළු නොකරගත් පිරිසක් ද වෙති. එකක් වයස ප්‍රශ්නයය.

හතරේ පහේ පන්තියේ සිටින පොඩි දරුවෝ ෆෝන් එකෙන් පරිගණකයෙන් දාන සෙල්ලම්, ගෙදර අම්මලා තාත්තලාට බැරිය. මවුපියෝ බොහොමයක් පරිගණකය ඉගෙන ගත්තේ, ටිකක් ලොකු මහත්වී ය. අද ඉන්න පොඩ්ඩෝ, ඉපදුණේම ඒ තාක්ෂණය අතමිට මොළවා ගෙනය. මහෞෂධ පඬිතුමෝ උපන්නෝ, සඳුන් හර අත්ලේ ගුළි කරගත් වනය. ඒ ලෙසම මේ දශකයේ උපන් පරපුර, ඒ දැනුම මිට මොළවා ගත් වනම උන්හ. මේ නිසා තාක්ෂණය, විෂය වූ ලේයර් එකක් සහ එය ‘විෂ’ වූ ලේයර් එකක් සමාජයේ තිබේ. අස්වැසුම සඳහා ලියාපදිංචිය ඇත්තේ අන්තර්ජාලය ඔස්සේය. ඒවා සමහරුන්ට අවුල් වැඩය.

එහෙම වුණත්, පිළිවෙළට වැඩක් කළ යුත්තේ නම් ඒ තාක්ෂණය භාවිතයට ගත යුතුය. මුලදී ඔහොම වුණාට පස්සේ ඒ වගේ වැඩ සඳහා හැමෝම හුරු වන්නේය. බැංකු කාඩ් එකෙන් සල්ලි ගැනීම සඳහා වයසක උන්දැලා, ඒ කාලයේ බැංකු ගියේ මුනුපුරා හෝ අහල පහල පොඩි එකෙකු ද රැගෙනය. දැන් පොඩි එකාලා බොම්බයි මොටයි, පැණි බූන්දි වැනි සන්තෝෂම් ගණන් ගන්නේ නැත. හරි හමන් වැඩක් සඳහා කෑම පාර්ශ්වයෙන් පීට්සා වැනි දේවල් අවශ්‍යය. සෙල්ලම් බඩු පාර්ශ්වයෙන්, රුබික් කියුබ් වැනි දේ අවශ්‍යය. ඒ ජාතියේ යමක් දෙන බව කියා, බැංකු කාඩ් එකෙන් සල්ලි ගැනීමට ගිය පරපුර, දැන් බැංකු ගොස් ටෙලර් යන්ත්‍රයෙන් අගේට සල්ලි ගන්නේය. අස්වැසුමද මුලදී එහෙම වුණාට පසුව හුරු වෙනවා ඇත. එහෙත් මේ රෙජිස්ට්‍රේෂන් එක සඳහා පෝලිමක් ඇතිව තිබේ. මේ අවස්ථාවේ ඇති ගතමනාව තේරුම් ගත් පිරිසක් එය වෙළෙඳ පොළක් බව දැන, අන්තර්ජාලය ඔස්සේ අස්වැසුම පෝරමය පිරවීම සඳහා රුපියල් 100ක මුදලක් අය කර ගැනීමට පටන් ගෙන තිබේ.

වීසා කතාව ද ඒ වගේය. කොයිතරම් පැහැදිලි සිංහලෙන්, වීසා පිළිබඳව මාධ්‍ය සහ ආණ්ඩුව රටට කියා තිබුණද, අර ඒජන්සියෙන් රට යවනවා කියූ කල්හි, අපේ එවුන් ඒ යෝධයා ළඟට යන්නේ ඔප්පු තිරප්පු ද සහිතවය. පොල් ගහ පෙන්වූ පමණින්, ගෙඩි කඩාගෙන, කොහු තළාගෙන, ලණු හදාගෙන කන තරමට, ක්‍රියාශීලි වූ අපට, ඒජන්සිකාරයා කියන හැම දේම ඇත්තය. ඔහොම කලක් යන විට, රට යෑම වෙනුවට වේදිකාවට පිවිසෙන්නේ, කල් යෑමය. ඊට පස්සේ සැඟව යෑමය. එහෙම ආරංචි ලැබී ටික කලක් යන විට, ඒජන්සිකාරයාට නම් වීසා ලැබෙන්නේය. කල්දේරම් බත අනුභවය සඳහා ඒ යෝධයා ඇතුළට යන්නේය.

වීසා සඳහා රැවටෙන ප්‍රමාණය පන්තිය අනුව වෙනස් වේ. කැනඩා වීසා සඳහා ‘බස් නැවතුම්පොළ ඉදිරිපිට’ වැනි ඇඩ්‍රස් සෙට් වෙන්නේ නැත. ඒ සඳහා ගැළපෙන්නේ, වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් වැනි තැන්ය. ‘වීසා පිකාසෝලා’ ඒ කලාව දනිති. ඩුබායි වැනි රටවල් සඳහා නීතිඥ කාර්යාල පන්නය ද ගැළපේ. කබල් ෆෑන් එකක්, ප්ලාස්ටික් පුටු කිහිපයක් ආදිය තබා ඒ බිස්නස් එක කරගෙන යා හැකිය.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ආයතනයක් පවත්වාගෙන යමින්, කැනඩා වීසා පෙන්වා කෝටි 60ක පමණ පොලු තැබූ ඩබලක්, දැන් කූරු ගනිමින් පසුවන්නේය. මේ දෙදෙනා ගැන කොටුව පොලිසියට පැමිණිලි දහයක් පමණද, රත්නපුරේ පළාතෙන් පැමිණිලි පන්සියයක් පමණද ලැබී තිබුණි. කඩවත ප්‍රදේශයේ සණස සමිතියක් අටවාගෙන, මේ දෙදෙනා හොර ඩොකියුමන්ට් සාදන ලද ආකාරය ද පෙරේදා හෙළි කර ගැනීමට පොලිසිය සමත්ව වී තිබුණි. ඊයේ දිනමිණ වාර්තා කළේ, පෝලන්තයට රැකියා වීසා දෙන බවට පවසා රුපියල් එක්කෝටි විසි හත් ලක්ෂයක් වංචා කළ බව කියන කාන්තාවක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවය.

පෝලන්තයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන්ට වීසා නිකුත් නොකරන බව දැන දැන, මේ ‘ලොන්ත පෝල්ලා’ එහෙ රස්සා සඳහා, මේ කත වෙත මුදල් බැන්දේය. සහරාවේ වුවද ගොවිතැන් බත් කිරීම සඳහා ඉඩම් දෙනවා කියනවා නම්, ඒ වැඩේට ද මේ රටේ පෝලිම් හැදෙනවා ඇත. එහෙ දෙන්නේ ‘ජය භූමි ඔප්පු’ යැයි කීවද මේ හරක් ඇන්දෙන්නේය.

අද වැඩියෙන්ම රැවටෙන්නේ සරසවි සඳහා වීසා ගැනීමට බැවින්, ඒ ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු කළ යුතුය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැටලීම් අංශය මේ ජාතියේ තැන් නිරන්තරයෙන් වටලා, නීතිය ක්‍රියාත්මක කරන්නේය. මාධ්‍ය ඔස්සේ ඒවා ප්‍රචාරය වන්නේය. අහසට එකෙක් අත දිගු කළ කල්හි හැම එකාම උඩ බලන්නා සේ, පසුදා සිට පැමිණෙන වෙනත් හොර වීසාකාරයෙකුට මේ පිරිස රැවටෙන්නේය. මේ නිසා සරසවි වීසා සම්බන්ධයෙන් නියමිත ආයතනයක් හෝ අවම තරමින් හොට් ලයින් එකක්වත් වහාම ආරම්භ කිරීමට මේ තීරුව අවසාන වශයෙන් යෝජනා කර සිටියි.

 

නව අදහස දක්වන්න