පියා වැවූ ගංජා පුතු පාසල් ගෙනිහින් මිතුරන් හා මත් වීලා | දිනමිණ

පියා වැවූ ගංජා පුතු පාසල් ගෙනිහින් මිතුරන් හා මත් වීලා

පියා වවන ගංජා හොර රහසේ කපාගෙන ගොස් පාසලේ මිතුරු මිතුරියන් සමග පානය කර විනෝද වූ කළුතර මිශ්‍ර පාසලක සිසුවකු සම්බන්ධයෙන් විමර්ශන පවත්වා, එම සිසුවාගේ පියා කළුතර රජවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පොලිසිය කියයි. සැකකරු සමඟ සරුවට වගා කර තිබූ ගංජා පැළ දහයක් පොලිස් භාරයට ගෙන ඇත.

තම දරුවන් නිවෙසට පැමිණෙන විට මත් ගතියෙන් පෙළෙන බවට මවුයන් කීපදෙනකු පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතා වෙත රහසිගත ලෙස දුන් තොරතුරු කීපයක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි. පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති (ප්‍ර.පො.ප.) ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී දින ගණනාවක් පාසල අවට රැක සිට ඉතා රහසිගත අයුරින් සිසුවාගේ තොරතුරු අනාවරණය කරගැනීමෙන් අනතුරුව පාසල නිම වී නිවෙස කරා සිසුවා යන අවස්ථාවේදී ඒ පසුපස ගොස් නිවෙස පැහැදිලිව හඳුනාගැනීමෙන් අනතුරුව ඉතා සාර්ථක අයුරින් සිසුවා නැති අවස්ථාව බලා ඊයේ (30) දහවල් වැටලීම කළ බව පොලිසිය කියයි.

නිලධාරීන් සැකකරු පදිංචි නිවෙස ඇතුළු අවට පරිශ්‍රය පරික්ෂා කිරීමේදී නිවෙස පිටුපස වැසිකිළියේ කොන්ක්‍රීට් වහල මත පෝච්චිවල සරුවට ගංජා පැළ වගා කර තිබූ බවත්, ඒවායේ උස ප්‍රමාණය අඩි තුනහමාරක් පමණ වන බවත් වැටලීම මෙහෙයවූ (උ.පො.ප.) ආර්.එම්. චතුරංග මහතා පැවසීය. සිසුවාගේ පියා වන 42 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කළුතර දකුණ පොලිසිය වෙත භාර දී ඇත. පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර ස්ථානාධිපති (ප්‍ර.පො.ප.) ඉන්දික වීරසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත (උ.පො.ප.) ආර්.එම්. චතුරංග, (පො.සැ. 409) විජේරත්න පො.කො. 84889 උදය කුමාර, 92905 අමිල, 105086 කේසුමාරන්, 105536 මල්ලවආරච්චි, 105529 සිල්වා මහත්වරු පරීක්ෂණ පවත්වති.

පැළ 10ක් එක්ක තාත්තා අත්අඩංගුවට

බණ්ඩාරගම - බිමල් ජයසිංහ, පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක

නව අදහස දක්වන්න