කටුගස්තොට අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනිය අපේක්ෂිත ඇප ඉල්ලයි | දිනමිණ

කටුගස්තොට අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනිය අපේක්ෂිත ඇප ඉල්ලයි

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ අතර මැදි පන්තිවලට කූට ලේඛන මඟින් සිසුන් ඇතුළත් කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේ සැකකාරියක වන එම බාලිකාවේ හිටපු විදුහල්පතිනි පී.කේ.ආර්.සී. රණසිංහ මහත්මිය නීතිඥවරුන් මඟින් අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටි අතර, ඒ පිළිබඳ තීන්දුව ජූලි මස 05 දින ලබාදෙන බව මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ නඩුව පසුගිය 28 දින කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම දැනුම් දීම සිදු කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්. උවින්දසිරි මහතා අධිකරණයේ කරුණු දක්වමින් මේ වනවිට කූට ලේඛන මඟින් ළමුන් ඇතුළත් කළ බවට චෝදනා එල්ල වන මවුපියන් 17 දෙනකු ඇතුළු 22 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් එම ප්‍රකාශවලින් පාසලට ළමුන් ඇතුළත් කිරීමේ දී විදුහල්පතිනිය මුදල් ලබා ගෙන තිබෙන බව අනාවරණය වී තිබෙන බවත් ප්‍රකශ කළේය.

කූට ලේඛන සකස් කිරීම යන චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගත් සරත්චන්ද්‍ර දසනායක නමැති අය සහ විදුහල්පතිනිය අතර දුරකතන සංවාද ගණනාවක් ඇතිව තිබෙන බව පරීක්ෂණ මඟින් හෙළිව ඇතැයි ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා මවුපියන්ට කූට ලේඛන සකස් කරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ සරත්චන්ද්‍ර දිසානායක නමැති අය රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් මුදා හරිනු ලැබීය.

සැකකරුට සැප්තැම්බර් මස 27 දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සරත්චන්ද්‍ර දසනායක නමැති සැකකරු මෙදින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහි දී මවුපියන් දෙදෙනකු විසින් ඔහු හඳුනා ගනු ලැබීය. සැකකරු වෙනුවෙන් නීතිඥ එස්.බී. රත්නායක මහතා පෙනී සිටියේය.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා ගේ උපදෙස් පරිදි මහනුවර මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස් උවින්දසිරි,පොලිස් සැරයන් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

 

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න