වළලු ලූ අතින් හිමිහිට බලාපන් උමා | දිනමිණ

වළලු ලූ අතින් හිමිහිට බලාපන් උමා

‘ලෙලි තළන නුඹේ අතට රන් මුදුව ගොරහැඬි ද දෝණි - සෙනසුරුට පෙම් බඳින දෝණි’ යැයි කපුගේ ගයන ගීතයේ හඬ යළිත් නින්නාද වූයේ, ඊයේ සෙල්වදොරේ චාරිකා රාජිනිගේ කතාව ඇසීමෙනි. සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ධර්මේ නම්, මත්ද්‍රව්‍ය ජාවාරමාගේ කැෂියර් වැඩේ කරන ලද්දේ, 33 හැවිරිදි චාරිකා රාජිනිය. රුපියල් කෝටි හතරහමාරක මුදලක් තැන්පත් කර තිබූ ඇයගේ බැංකු ගිණුම ද ඊයේ තහනමට ලක් විය. චාරිකා රාජිනි වැනි සෙනසුරුට පෙම් බඳින දෝණිවරු දැන් බොහෝය. ෆේස්බුකියෙන් මූණ විතරක් දුටු පෙම්වතාට, අන් හැම දෙයම ෆොටෝ ගසා යවා ඒවා මත්තේ බ්ලැක් මේල් අපලය විඳින දියණියෝ වෙති. බස් එකේ හමුවෙන එකා තමන්ගේ ලෝකය යැයි පැයක් දෙකක් තුළ අදහා ගෙන ජීවිත කාලයේ වසර පනහක් හැටක් විඳවන දියණියෝ ද වෙති.

මේ තරම් සෙනසුරුට පෙම් බැඳීම ‘ජේන්ඩර් බැලන්ස්’ එකේ ප්‍රශ්නයක් දැයි විග්‍රහ කර ගත යුතුය. පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨය සඳහා මෙවර ඇතුළත් කරගත් 1130 දෙනාගෙන් නවසිය හැත්තෑවක්ම ශිෂ්‍යයාවෝය. මේ ලෙසම සරසවි බොහොමයක ශිෂ්‍ය අංශයේ සහ ආචාර්ය අංශයේ අති බහුතරයක් නියෝජනය කරන්නේ කාන්තා පාර්ශ්වය විසිනි. එය ඔවුනගේ දක්ෂතාවය බව ඉඳුරාම කිව හැක්කේය. එසේ වුවත් දැන් කාලයක පටන් මේ ආකාරයෙන් කේෂ්ත්‍ර ගණනාවක ගැහැනු ඉදිරියට ඒම, අපරාධ පැත්තෙන් ද සිදුව තිබෙන හෙයින් කැම්පස් බහුතරයක්, බාලිකා සරසවි වෙනවාට වඩා වෙනස් කතාවකි.

පිරිමින් සහ සම මට්ටමෙන් කාන්තාවන් අපරාධ සඳහා දායක වීම, කාන්තා අයිතිය වෙනුවෙන් පෙනී සිටින එන්.ජී.ඕ නම් අගය කරනවා ඇත. ඒ හැරුණුවිට රටේ හුස්ම රැල්ල බඳු කාන්තාව මෙවැනි අපරාධ ගණයේ ක්‍රියා සඳහා වැඩි වැඩියෙන් යොමුවීම සම්බන්ධයෙන්, සමාජයක් ලෙස අපට ඇත්තේ අවුලකි. මේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවිතය වැනි ගැඹුරු සමාජ කියැවීම් නොවේ. සිංහල සමාජය වසර දහස් ගණනක් ගලා ආ ආකාරය පිළිබඳ වූ කියවීමකි. එවන් න්‍යායකින් මිස, මෙවැනි කාන්තා ප්‍රචණ්ඩත්වයක් පිළිබඳව හැදෑරීමක් ලබා ගත නොහැකිය.

මෑත භාගයේ සිට ස්ත්‍රිය රැඩිකල් වීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී තිබේ. මේ වචන භාවිතය ප්‍රවේශමෙන් කළ යුත්තේ වැලේ වැල් නැතිව සිටිනා ස්ත්‍රීවාදී ආන්ටිලා සළුපට කරට ගැනීමට ඉඩ ඇති නිසාය. මේවා කියූ ගමන් ඒ අය නිගමනයට එන්නේ, රැඩිකල් වීම පුරුෂයන්ට පමණක් හොඳ දෙයක් දැයි අසමිනි. එහෙම රැඩිකල් වීමක් ගැන අපේ අවුලක් නැත. විවියන් ගුණවර්ධන පන්නය ලෙස නොව හවසට අඩියක් ගහන ගැහැනු පන්නය පිළිබඳව අපට විරෝධයක් තිබේ. එහෙම අඩි පුඩි ගහන පුරුෂ පෞරුෂය ද අපි දකින්නේ හීනමාන චරිත ලෙසය. ගැහැනු ඩ්‍රින්ක් එකට සෙට් වෙනවා කියන්නේ මේ බේබදු රැල්ල නොනවතින කේස් එකක් වෙනවා යන්නය. තවමත් අපේ සමාජයේ වන්දනීය වන්නේ ශාස්තෘවරයා හැරුණු කළ අම්මාය. අම්මාගේ හැසිරීම නරක අතට හැරේ නම් සමාජයේ හෙට දවස රාහුට අසුවනවාමය.

සෙනසුරුට පෙම් බඳින දෝණි යන ව්‍යාඛ්‍යානයට අප එතරම් සංවේදී වන්නේ ඒ නිසාය. මේ රටේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සඳහා පිරිමින් ද හරි හරියට ගොදුරු වන්නේය. ඒවා පවුලේ කතා ගොඩට දමා, ප්‍රචණ්ඩ සහ අශ්ලීල කාර්යයන් සඳහා කාන්තා දායකත්වය, වැඩිවීම පහසුවෙන් නොතකා දැමිය නොහැකිය. අප මේ පසු කරන්නේ රටක් ලෙස ‘සෙනසුරු දශාව’ලබා ඇති කලකි. රටේ ආර්ථිකයේ අවුල පළමුව දැනෙනුයේ මුළුතැන් ගෙදරටය. එය මැනේජ් වන්නේ ‘වළලු ලූ අතින්ය’. එහෙම ඇති විටක එතැනද අවුලක් වන්නේ නම්, වැඩේ දෙල්ය.

මේ නිසා කාන්තාව යන ගමනේ ඇති අවුල අප වටහා ගත යුතුය. පේරාදෙණි සරසවියේ ඇඩ්මිෂන් කතාව අපට කියා දෙන පාඩම වන්නේ මේ රටේ අනාගත පරිපාලනය සහ නායකත්වයේ සැබෑ වියමන ගොතනු ලබන්නේ ඇය විසින් බවය. එහෙව් ඇය මෙහෙව් ආකාරයට හැසිරීම අපට දරා ගත නොහැක්කේ ඒ අනාගත භය කරණ කොටගෙනය.

ඇන්ටිපැවර් නම් ග්‍රීක දාර්ශනිකයා සඳහන් කරනුයේ, විවාහය රාජ්‍යයේ පදනම බවය. ඔහු ඒ ගැන කියන දිග කතාව, නාරිද්වේශය හෙවත් ස්ත්‍රිය පහළට හෙළන සිද්ධාන්ත මත පදනම් වන්නේය. එසේ වුවද විවාහය රාජ්‍යයේ පදනම කියන කතාව අපි දූ අවනත කියමනකි. පවුල නැති කල්හි රාජ්‍යය යනු කොළ ගොඩක් සහ අවුල් මිනිසුන්ගේ ව්‍යුහයකි. පවුලේ වැදගත්කම ඇත්තේ එතැනය. පසන් නිවස යනු තනිකරම අම්මාගේ ප්‍රයාමයකි. ඒ පදනම කුමන ආකාරයේ හෙනහුරෙකුට හෝ බිලි දීමට නොහැකිය. අප සියලු දෙනා පසු පස බැලූ කල්හි වහාම පිටු පසින් සිටින්නේ ඇය ය. සමාජය නම් සූර්යකාන්ත මල් යායම හැරෙන්නේ ඈ දෙසටය. ඇගේ මුහුණෙන් ඒ මල් අසනී සිරිය වෙනුවට, ප්‍රචණ්ඩත්වය විහිදෙන්නේ නම්, පවුල ගම ආදී සියල්ලම, එකවර ලොක් ඩවුන් කළා වැනිය.

ඇය මේ ප්‍රවණතාවය සඳහා ගොදුරු වන්නේ වහ වහා ප්‍රතිකාර දිය යුත්තේය. දෙවියන් තමන් තනි නොකරන බව විශ්වාස කළ පුද්ගලයා, අවුල් සිතින් වැල්ලේ ඇවිද ගියේය. සතුට සැනසුම තිබූ වෙනදා, හේ දුටුවේ, දෙවියන්ගේ පාද තමා සමඟම ඇති වගය. වියවුල් වූ මොහොතේ, ආපසු හැරී බලන විට වෙනදා දකින සටහන වැල්ලේ නොවීය. ඔහුගේ පාද සටහනට සමාන්තරව වැල්ලේ ඇති දෙවියන්ගේ පා සටහන ද මෙදා නැත. ඒ වෙනුවට කාන්තා පාද යුගලක සලකුණු හේ දුටුවේය. ඔහුගේ පා සටහන පවා එහි නැත. විමසා බලන කල දුක, සන්තාපය ඇති මොහොතේ සිටියේ ඇය පමණි. ඔහුගේ පා සටහන් ද එහි නැත්තේ ඒ සියලු බර දරා ඇය, ඔහු ඔසවාගෙන ගොස් ඇති බැවිනි. ඒ ‘ඇය’ සෙනසුරුට සින්න නොකළ යුත්තේ, මේ හෙයිනි.

නව අදහස දක්වන්න