තායිවානය සහ චීනය වෙන් කරනු ලබන නාවික සැතපුම් 24ක මුහුදු මාර්ගයට මහජන විමුක්ති හමුදාවට ප්‍රහාරක ජෙට් පියාසර කිරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව චීන හමුදා විශේෂඥයන් අනතුරු අඟවා ඇතැයි චීන රජයට අයත් බව කියන ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. පසුගියදා චීන යුද ගුවන් යානා කිහිපයක් දෙරට යා කරන මධ්‍ය රේඛාව තරණය කළ බව තායිවානය නිවේදනය කිරීමෙන් පසු එම වාර්තාව පළ වී තිබිණි. විදෙස් බලවේග තායිවානයේ ස්වාධීනත්වය වෙනුවෙන් අඛණ්ඩව චීනය ප්‍රකෝප කරවීම මගින් මේ යුදමය තත්ත්වය තවත් ඉහළ යනු ඇතැයි ද චීන හමුදා විශේෂඥයන් වැඩිදුරටත් අනතුරු අඟවා ඇතැයි ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.
පසුගියදා තායිවාන විදේශ අමාත්‍යාශය නිවේදනය කර ඇත්තේ පැය 24ක් ඇතුළත චීනයේ මහජන විමුක්ති හමුදාවට අයත් ගුවන් යානා 21ක්, යුද නැව් 5ක් සහ ජේ-10 ප්‍රහාරක ගුවන් යානා 8ක් තායිවාන සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගමන් කිරීම නිරීක්ෂණයට ලක් වූ බවය.
තායිවානයට නාවික සැතපුම් 24ක් හෝ කිලෝමීටර් 44ක් ආසන්නයට යුද ගුවන් යානා ළඟා වීම බරපතළ කාරණාවක් බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර තිබේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් චීන හමුදා විශේෂඥයන් ප්‍රකාශයක් නිකුත් කර ඇත්තේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය ඒ පිළිබඳ විමසා සිටි අවස්ථාවේදීය.
තායිවාන මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 24 දක්වා විහිදෙන භෞමික මුහුදට චීන ප්‍රහාරක නෞකා ඇතුළුවීම හෝ ප්‍රහාරක ගුවන් යානා පියාසර කිරීම හෝ තර්ජනයක් බවට අර්ථකතනය කළ නොහැකි බව චීන හමුදා විශේෂඥවරුන් ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශයේ බරපතළ කරුණ වන්නේ තායිවානය යනු චීනයේ කොටසක් බැවින් එරට සහ අවට ඕනෑම ස්ථානයක ක්‍රියාත්මක විමට චීන මහජන විමුක්ති හමුදාවට අවසර ලැබී ඇතැයි යන්නය.
පසුගිය වසර තුන ඇතුළත චීන ගුවන් හමුදාවට අයත් ගුවන් යානා සහ නෞකා නිරන්තරයෙන්ම තායිවානය හරහා ගුවන් සීමාවට ඇතුළු වී ඇති අතර, පසුගිය වසරේ සිට බොහෝ විට මධ්‍ය රේඛාව පසු කිරීමේ අවස්ථාවන්ද වාර්තා වී තිබේ. එය මීට පෙර දෙපාර්ශ්වය අතර අවිධිමත් බාධකයක් ලෙසට තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය වරින් වර නිවේදනය කර තිබේ.. එහෙත් එම සෑම අවස්ථාවකදීම චීනය එම නිවේදනය ප්‍රතික්ෂේප කිරීමට ද කටයුතු කර තිබේ.
නව අදහස දක්වන්න