අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කරන ඇතැම් විදේශීය සමාගම් බදු නොගෙවා විදේශයන් හී බැංකු ගිණුම් වෙත විශාල මුදල් ප්‍රමාණයක් ලබා ගන්නා බව, ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා වන කාරක සභාවේදී පසුගියදා අනාවරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (13) රැස්වූ අවස්ථාවේ මේ බව අනාවරණය වූ අතර අන්තර්ජාලය ඔස්සේ සිදුකරන දෙස් විදෙස් ව්‍යාපාර නියාමනය කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් අවශ්‍ය බවද මෙහිදී අවධාරණය කෙරිණි.
අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ව්‍යාපාරික කටයුතු මෙන්ම ඒවාට සම්බන්ධ සමාගම්වල බදු ගෙවීම් ආදිය නියාමනය කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් තවමත් නොමැති බැවින් ඒ සඳහා කඩිනමින් පියවර ගත යුතු බවද ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සඳහා වන කාරක සභාවේදී සාකච්ඡා විය. ආර්ථික ඩිජිටල්කරණය තුළින් පැන නඟින බදු අභියෝග විසඳීම සඳහා වන කුලුනු ද්විත්වයේ විසඳුම පිළිබඳ ප්‍රකාශයට අනුව (G20 /OECD) සාමාජික රටවල් 140 න් ගෝලීය ආයතනික බදු ගිවිසුමට ශ්‍රී ලංකාව, පාකිස්තානය, කෙන්යාව සහ නයිජීරියාව යන රටවල් හතර අත්සන් කර නැති බවද මෙහිදී අනාවරණය විය.
ඒ සමඟම මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවයද කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම සඳහා වාර්ෂිකව බිලියන 3.2ක් වැය වන බවත් ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා මහ බැංකුව සකස් කළ සැලැස්ම පිළිබඳ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස සභාපතිවරයා උපදෙස් දුන්නේය.
මෙම කමිටුවට පැමිණි සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ යම් නීතියක් මඟින් දක්වා නොමැති විට ලියාපදිංචි කරන ලෙස බල කිරීමට හෝ අනිවාර්ය කිරීමට නොහැකි බවත් සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තොරතුරු ගොනු කර තබා ගැනීමේ ආයතනයක් ලෙස ක්‍රියා කරන බවත්ය. එසේම තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර ලියාපදිංචිය සිදු කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් වන අතර තවත් ව්‍යාපාර කොටසකට පළාත් පාලන ආයතන මඟින් බලපත්‍ර දෙනු ලැබේ.
වර්තමානයේ දක්නට ලැබෙන සේවා යෝජකයා සහ සේවා දායකයා අතර පැවති සම්ප්‍රදායික ශ්‍රම සේවා සැපයීමෙන් බැහැරව, ශ්‍රම වෙළෙඳපොළේ නිදහසේ කටයුතු කරන ශ්‍රමිකයින් (Freelancer) පිරිසකගෙන් බහුලව විවිධ ආර්ථික ක්‍රියාකාරකම් ආශ්‍රිතව කටයුතු කරමින් සිටින ආර්ථිකයක් හෙවත් ගිග් ආර්ථික තත්ත්වය (Gig Economy) පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා විය.
ගිග් ආර්ථිකය (Gig Economy) වත්මන් තාක්‍ෂණික සංවර්ධනයට සමගාමීව ශීඝ්‍රයෙන් වර්ධනය වන බැවින් අන්තර්ජාලය හරහා සිදුකෙරෙන ව්‍යාපාරික කටයුතු දිරිමත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දී ඇත. මෙම ව්‍යාපාර නියාමනය කිරීම සඳහා නෛතික රාමුවක් මෙන්ම ඩිජිටල් සේවා බද්දක් හඳුන්වාදීම යෝග්‍ය බවට ද යෝජනා විය.
එසේම අන්තර්ජාල ව්‍යාපාරවලට සම්බන්ධ සමාගම් වැඩි වශයෙන් රට තුළට ආකර්ෂණය කර ගැනීමට පරිසරයක් නිර්මාණය කිරීම අවශ්‍ය බවද මෙහිදී සාකච්ඡා විය.
ආයෝජන හා ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සැපයීම කාරණා දෙකක් බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය මෙහිදි ප්‍රකාශ කළාය. මෙරට ඔන්ලයින් තාක්ෂණය හරහා භාණ්ඩ හා සේවා සපයන දේශීය සමාගම් රජයට බදු ගෙවන අතර එම ව්‍යාපාරයේම නියුතු ඇතැම් විදේශීය ආයතන රජයට නිසි අයුරින් බදු නො ගෙවන බව ද අනාවරණය විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, මොහොමඩ් මුසම්මිල්, සංජීව එදිරිමාන්න හා ලලිත් වර්ණකුමාර යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ සඳහා මහ බැංකුව, නීතිපති දෙපාර්තමේන්තුව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් උසස් නිලධාරීන් සහභාගී වූ අතර සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් ජනරාල්, මහ බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HNB බැංකුව, NDB බැංකුව, ලංකා බැංකුව නියෝජනය කරමින් සභාපතිවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් සහභාගි වූහ. වාණිජ බැංකු ප්‍රධානීන්, අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාරික කටයුතුවල නිරත දේශීය හා විදේශීය සමාගම් නියෝජිතයන්, ක්‍රෙඩිට් කාඩ් සමාගම් නියෝජිතයන්, මහ බැංකු නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම කමිටු රැස්වීමට සහභාගී වූහ.
එසේම මෙරට ඔන්ලයින් සේවා සපයන ආයතන නියෝජනය කරමින් ලංකා පේ, පික් මී, ඌබර්, මාස්ටර්, වීසා, ඩරාස් යන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂවරුන් සහභාගි වූ අතර ඔවුන්ගේ අදහස් ද කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර
නව අදහස දක්වන්න