මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී සත්‍ය දකිමු | දිනමිණ

මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී සත්‍ය දකිමු

රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පණ්ඩිත, පැල්වාඩිය මිණිපුර අමාශාන්ති තපෝවනයේ විහාරාධිපති, තපෝවනයේ රතන හිමි

අද උතුම් පොසොන් දිනයයි. මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිසක් ලක් දෙරණට වැඩම කොට මෙරටේ බුදු දහම ව්‍යාප්ත කිරීම ඇරඹීම සිහි ගන්වමින් මෙවරත් ලැබුවා වූ පොසොන් පොහෝ දිනයේ බෞද්ධ බැතිමත්හු නොයෙක් ආමිස හා ප්‍රතිපත්ති පූජාවලට මුල් තැනක් දෙමින් කටයුතු කරති. නමුත් ඇතමුන් තවමත් මුල් බැස ගත් මිථ්‍යා දෘෂ්ටිය හෙවත් තියෙන දේ නිවැරැදිව දැකීමට අපොහොසත්ව එහිම ගැලී කටයුතු කරති. පොසොන් පෝදා මේ ලිපිය ලියවෙන්නේ මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී සත්‍ය දැකීම උදෙසා යම් ආලෝකයක් සැපයීම වෙනුවෙනි.

දෘෂ්ටිය, නිවැරැදි දෘෂ්ටිය හා වැරැදි දෘෂ්ටිය කියා දෙයාකාරයකි. මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ තියෙන දේ වරදවා දැකීමයි.

එය තවත් පැහැදිලි කළොත්, ඕනෑම සත්ත්වයෙකුගේ ශරීරයේ චිත්ත චෛතසික ධර්ම හට ගන්නා ස්ථාන සයක් තිබේ. ඒ ඇස, කන, නාසය, දිව, ශරීරය සහ හෘදය වස්තු රූපයයි. එම ස්ථාන සය ආධ්‍යාත්මික ආයතන ලෙස හඳුන්වනු ලැබේ. ඒවාට හමුවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන සය බාහිර ආයතන ලෙස හඳුන්වනු ලැබේ. මේ ඇස, කන, නාසය ආදියට හමුවන රූප, ශබ්ද, ගන්ධාදිය අරමුණු ලෙස හඳුන්වනු ලැබේ. මේ ඇස, කන, නාසය ආදියට හමුවන රූප,ශබ්ද,ගන්ධාදිය අරමුණු ලෙස හඳුන්වනු ලැබේ. සිතට දැනෙන දේ අරමුණු වේ.

යම් අරමුණක රසය විඳින විට, ඒ අරමුණු ස්වභාවය ගැන වැරැදි දැක්මක්, වැරැදි ලෙස පිළිගැනීමක් ඇති විය හැකි ය. සිත් අරමුණු සමඟ ඇති වූ පසුව ඇති වන ඒ පරම්පරාවේම සිත්වලින්, ශරීරයෙන් හෝ වචනයෙන් හෝ සිතින්ම යම් යම් දේ කරති. කියති. සිතති. චේතනාව බලවත්ව යෙදෙන සිත්වලින් ඒ කරන, කියන, සිතන දේවල් කර්ම යැයි කියනු ලැබේ.

ඇතැම් අය කුසල, අකුසල කර්ම නැත. කර්ම විපාක නැත. දානයෙහි ආනිසංස නැත. සීලයෙහි ආනිසංස නැත. අන් සතු දෙය සොර සිතින් ගැනීමෙහි වරදක් නැත. සතුන් මැරීමෙහි වරදක් නැත. කාමයෙහි වැරැදි ලෙස හැසිරීමෙහි වරදක් නැත. මත් පැන් බීමෙහි වරදක් නැත. බොරු කීමෙහි වරදක් නැත. කේලාම් කීමෙහි වරදක් නැත. පරුෂ වචන කීමෙහි වරදක් නැත. හිස් කතා කීරීමෙහි වරදක් නැත. ආදී ලෙස වැරැදි දෘෂ්ටිවල සිටිති. මේ වැරැදි දෘෂ්ටි හඳුන්වන්නේ මිථ්‍යා දිට්ඨි කියාය.

“දිට්ඨිය” දෙකකට බෙදේ. ඒ සම්මා දිට්ඨිය සහ මිච්ඡා දිට්ඨිය කියා ය. “සම්මා දිට්ඨිය” කියන්නේ යහපත් නිවැරැදි දැකීමටය. යහපත් නිවැරැදි දැක්මක් ඇතිව යම් කර්මයක් කරන විට ඇතිවන්නේ සම්මා දිට්ඨිය සහිත සිතකි.

“මිච්ඡා දිට්ඨිය” කියන්නේ අයහපත් වැරැදි දැකීමයි. අයහපත් වැරැදි දැකීමක් සහිතව යම් කර්මයක් කරන විට ඇති වන්නේ මිථ්‍යා දිට්ඨිය සහිත සිතකි. “සම්මා දිට්ඨිය” ඇති වන්නේ පිරිසිදු කුසල් සිතකම පමණි.” මිථ්‍යා දිට්ඨිය” ඇති වන්නේ අකුසල් සිතකම පමණි.

පහත සඳහන් කරුණු නිසා මිථ්‍යා දෘෂ්ටිය ඇති වේ.

1. මිච්ඡා දිට්ඨිය ඇති අය ආශ්‍රය කිරීම.

2. ධර්මයෙන් වෙන්ව වාසය කිරීම.

3. නොමනා වැරැදි කල්පනා බහුල කොට ඇති වීම.

4. අනුවණින් මෙනෙහි කිරීම

මෙම මිථ්‍යා දෘෂ්ටියෙන් මිදීමට නම්, සම්මා දිට්ඨිය ඇති කර ගත යුතුය. තමන් තුළ සම්මා දිට්ඨිය ඇති කර ගන්නේ නැති තාක් කල් සසරින් එතෙර විය නොහැකිය. මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී චතුරාර්ය සත්‍ය ධර්මය දැකීමට, ඇති එකම මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එය මධ්‍යම ප්‍රතිපදාව ලෙස ද හඳුන්වනු ලැබේ. එහි අංග අටක් තිබේ. ඒවා නම්:-

1. සම්මා දිට්ඨි (නිවැරැදි දැකීම)

2. සම්මා සංකප්ප (නිවැරැදි කල්පනාව)

3. සම්මාවාචා (නිවැරැදි වචන)

4. සම්මා කම්මන්ත (නිවැරැදි ක්‍රියා)

5. සම්මා ආජීව (නිවැරැදි දිවි පැවැත්ම)

6. සම්මා වායාම (නිවැරැදි උත්සාහය)

7. සම්මා සති (නිවැරැදි සිහිය)

8. සම්මා සමාධි (නිවැරැදි සමාධිය)

සම්මා දිට්ඨිය

සම්මා දිට්ඨිය කියන්නේ නිවැරැදි දැකීමයි. “පඤ්චස්ඛන්ධය නමැති දුක නැති කරන්නට අනුගමනය කළ යුතු ප්‍රතිපදාව ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එනම්:- සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාමය, සම්මා සතිය, සම්මා සමාධිය යන මේවායි.”

මෙම සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට පරතෝඝෝෂ (ධර්මය ඇහුම් කන් දීම.) සති සම්පජඤ්ඤය (සතර සතිපට්ඨාන සිහිය සහ නුවණ) යෝනිසෝ මනසිකාරය (හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ධර්මතාවල උප්පත්තිය, විනාශය ආදිය දකිමින්, කුසල් උපදින සේ සුදුසු පරිදි මෙනෙහි කිරීමයි. මාර්ග ඵලයන්ට උපකාරීවන නියම මාර්ගය වූ උපාය මනසිකාරය) ආදිය අවශ්‍ය වේ.

මේ අවිද්‍යාවෙන් නිවන් ලබා ගැනීමට අනුගමනය කළ යුතු ප්‍රතිපදා මාර්ගය වන අංග අටකින් යුත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වසා තිබේ. ඒ අංග අට වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ප්‍රතිපදා මාර්ගයයි.

සම්මා දිට්ඨිය.

“මහණෙනි, සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය යන චතුරාර්ය සත්‍ය පිළිබඳ යම් දැනීමක්, දුක් නැති කිරීම පිළිබඳ පිළිපැදීමක්, මාර්ග සත්‍යයෙහි යම් දැනීමක් වේද, එයට සම්මා දිට්ඨිය යැයි කියනු ලැබේ.” නිවැරැදිව දැකීම සම්මා දිට්ඨියයි. එහි ප්‍රභේද කිහිපයක් තිබේ.

i.කම්මස්සකතා සම්මා දිට්ඨිය.

ii.චතු සච්ච සම්මා දිට්ඨිය.

iii.විපස්සනා සම්මා දිට්ඨිය.

iv.ඤාණ සම්මා දිට්ඨිය.

v.මග්ග සම්මා දිට්ඨිය.

vi.ඵල සම්මා දිට්ඨි ලෙසටයි.

කම්මස්සකතා සම්මා දිට්ඨිය.

තමන් රැස් කරනා කර්මය හා විපාකය තම තමන්ටම අයත් බව දැකීම, විශ්වාස කිරීම, කම්මස්ස කතා සම්මා දිට්ඨියයි. මෙයට අයත් වන්නේ දස වස්තුක සම්‍යක් දෘෂ්ටියයි.

i.දුන් දෙයෙහි විපාක ඇත.

ii.මහා පූජාවන්හි විපාක ඇත.

iii.වෙතට පමුණුවා දෙන දෙයින් විපාක ඇත.

iv.සත්ත්වයා විසින් කරනු ලබන හොඳ නරක දෙකෙහි විපාක ඇත.

v.මෙලොවක් ඇත.

vi.පරලොවක් ඇත.

vii.මවට කරන හොඳ නරක දෙයෙහි විපාක ඇත.

viii.පියාට කරන හොඳ නරක දෙකෙහි විපාක ඇත.

ix.ඕපපාතික සත්ත්වයෝ ඇත.

x.තමන්ගේ විශිෂ්ට ඥානයෙන් මෙලොව හා පරලොව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන පවසන මනා පිළිවෙතෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත.

චතු සච්ච සම්මාදිට්ඨිය

බුදුපියාණන් වහන්සේ නමක්ම අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කළ යුතු, තමා තුළ ඇති වැරැදි විශ්වාස සියල්ලක්ම දුරු වී යන, දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය යන චතුරාර්ය සත්‍යය ධර්මය දැන ගැනීම චතු සච්ච සම්මා දිට්ඨියයි.

විපස්සනා සම්මා දිට්ඨිය

කාම භව, රූප භව, අරූප භව යන තුන් භූමියෙහි ඇති සියලුම සංස්කාර ධර්මයන් දුක්ඛ සත්‍ය බව දැන ඒවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් සැලකීමේ දී ඇතිවන, නිවැරැදිව දැකීමේ විදර්ශනා ඥානය යි.

ඥාන සම්මා දිට්ඨිය

රූපාවචර, අරූපාවචර ධ්‍යානයන්හි පහළ වන නිවැරැදි ප්‍රඥාවයි.

මග්ග සම්මා දිට්ඨි

සෝවාන් ආදී මාර්ග සිත්වල පහළ වන නිවැරැදි අවබෝධයයි.

ඵල සම්මා දිට්ඨි

සෝවාන් ආදී ඵල සිත්වල පහළ වන නිවැරැදි යහපත් නුවණයි.

මෙම සම්මා දිට්ඨිය නැති කිසිවකුට දුක් කෙළවර කොට සසරින් නිදහස් වීමට නොහැකිය. සම්මා දිට්ඨිය ඇතිවීමට ඇහුම්කන් දීමත්

(පරතෝඝෝෂය) නුවණින් මෙනෙහි කිරීමත් (යෝනිසෝමනසිකාරය) උපකාර වේ. සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෙස දෙයාකාරයක් වේ. චතුරාර්ය සත්‍ය ධර්මයන් නුවණින් අවබෝධ නොකර දැන ගන්නා ආර්ය්‍ය මාර්ග ඥානය ලෞකික සම්මා දිට්ඨිය යි. අවබෝධකරගත් ප්‍රතිවේධ ඥානය ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. කර්ම විපාක ඥානයත්, සත්‍යානුලෝමික ඥානයත් ඇති තැන සම්‍යග් දෘෂ්ටිය අංගසම්පූර්ණ වේ.

සම්මා සංකප්ප

සම්මා සංකප්ප යනු නිවැරැදි කල්පනාවයි. එය නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප ලෙස තුන් ආකාරයක් වේ.

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම සම්පත්වල ලෝකවාසී සියලු සත්වයෝ ඇලී, ගැලී, වෙළී, බැඳී, වාසය කරයි. ඒ විවිධාකාර පංචකාම සම්පත්වලින් වෙන්ව වාසය කිරීමෙන් ඉවත්වීමේ කල්පනාව නෙක්ඛම්ම සංකප්පයයි. ක්‍රෝධ කිරීමෙහි ආදීනව සලකා එයින් වෙන් ව සියලු සත්ත්වයන් කෙරෙහි අනුකම්පාව හා මෛත්‍රිය පතුරුවන කල්පනාව අව්‍යාපාද සංකප්පයයි. අනුන්ට හිංසා පීඩා කිරීමෙහි ආදීනව ගැන නුවණින් සලකා හිංසාවෙන් වෙන් වූ කරුණාසහගත සිතින් හිංසා පීඩා නොකිරීමේ කල්පනාව අවිහිංසා සංකප්පයයි. ලෞකික අවස්ථාවේ ධර්ම තුනක් වශයෙන් වෙන වෙනම උපදින මේ සංකල්ප තුන ලෝකෝත්තර අවස්ථාවේ එකම ධර්මයක් වශයෙන් ඒකක්ෂණිකව උපදී.

සම්මා වාචා

යම් වචනයක් කීමෙන් තමන්ටත් අනුන්ටත් විපතක් අයහපතක් නරකක් වෙනවා ද, එබඳු වචන කීමෙන් වැළකීම සම්මා වාචාවයි. එවැනි වැළකිය යුතු වාග් දුශ්චරිත සතරක් තිබේ. මුසාවාදයෙන් වැළකීම. පිසුනාවාචාවන් වැළකීම. පරුෂාවාචයෙන් වැළකීම. සම්ඵලාපයෙන් වැළකීම. මෙම වාග් දුශ්චරිතයෙන් වැළකී, සත‍රාකාර වාග් සුචරිතයෙහි හැසිරීම සම්මා වායාමයයි.

සම්මා කම්මන්ත

සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, යන අකුසල ක්‍රියාවන් සිදු කිරීමට අවස්ථාව පැමිණි විට එහි ආදීනව සලකා එයින් වැළකී ත්‍රිවිධ කාය සුචරිතයෙහි හැසිරීම සම්මා කම්මන්තයි.

සම්මා ආජීව

සතරාකාර වාග් දුශ්චරිතයෙන් හා තුන් ආකාර කාය දුශ්චරිතයෙන් ද, පස් ආකාර වැරැදි වෙළඳාමෙනුත් වෙන්ව දැහැමිව ජීවිතය පැවැත්වීම සම්මා ආජීවය යි.

සම්මා වායාම

නිවැරැදි උත්සාහයයි. නූපන් අකුසල් නොඉපදවීමට, උපන් අකුසල් නැති කිරීමට, නූපන් කුසල් ඉපදවීමට, උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් ප්‍රධාන වීර්යයෙන් කටයුතු කිරීම සම්මා වායාමය යි.

සම්මා සති

කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානය පිළිබඳව මනා සිහියයි.

සම්මා සමාධි

විවිධ අරමුණුවල සිත විසිර යන්නට නොදී යහපත් එක් අරමුණක මැනවින් සිත පිහිටවීම සම්මා සමාධිය යි. යහපත් කුසල් අරමුණක බලවත් ඒකාග්‍රතාවයි. මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී සත්‍ය දකින්න නම්, මෙම ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදිය යුතුය. මේ දිනවල බොහෝ කණ්ඩායම් බුදු දහම විවේචනය කරමින් විවිධ මතවාද සමාජ ගත කරමින් සිටී. එම මතවාද අධ්‍යයනය කරන විට පෙනී යන්නේ ඒ කිසිවෙකුට බුදු දහම ගැන නිවැරැදි අවබෝධයක් නැති බවයි. බුදු දහම ගැන දැන ගත හැක්කේ භාග්‍යවතුන් වහන්සේගෙන්ම පමණි. ශ්‍රාවකයෙකුට කළ හැක්කේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ධර්ම මාර්ගය ත්‍රිපිටකයෙන් ගෙන නැවත මතු කිරීම පමණි. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අංග සම්පූර්ණව සියලූම ධර්ම කොට්ඨාස දේශනා කළ සේක. ඒවා ඉතා පැහැදිලිව, කිසිදු වෙනසක් නොමැතිව, නිරවුල්ව ත්‍රිපිටක අටුවා, ටීකා පරිවාර ග්‍රන්ථාදියෙහි ඇතුළත් වේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය, අසන්නන් වන ශ්‍රාවකයන්ට, එම දහම අවබෝධ කරගෙන, තමන්ගේ සන්තානවල කෙලෙසුන් නැසීමට හැකිය. නමුත්, තමන් විසින් අවබෝධ කර ගත් දෙයක් ලෙස ත්‍රිපිටකයේ නැති දෙයක් ලෝකයාට කිව නොහැකිය. එයට හේතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රාවකයින් දැන ගන්නේද ත්‍රිපිටකය ඇසුරෙන් පමණක් වීමයි. රහතන් වහන්සේ නමක් වුවත් කිසිම ශ්‍රාවකයෙකුට රහත් වීමත් සමඟ සම්මා සම්බුද්ධත්වය නොලැබේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය අසා පිළිපදින ශ්‍රාවක පිරිස කොටස් සතරක් වේ. ඒ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසයි. මේ සිවුවනක් පිරිස පිළිපැදිය යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එවිට මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී සත්‍ය දැකිය හැකිය.

නව අදහස දක්වන්න