මාධ්‍යවේදීන් ජනතාවට නිවැරැදි සත්‍ය තොරතුරු බියෙන් තොරව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂයේ අපි ඔබව ආරක්ෂා කරන බවත් විකාශන අධිකාරී පනත පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (1) විපක්ෂයේ පක්ෂ විධායක සභාව රැස් වූ අවස්ථාවේ දී විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් සිය අදහස් පළ කිරීමේ දී ය.
තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේද පැවසීය.
ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ගමනට තවත් ව්‍යාපෘතියක් ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව විකාශන නියාමන පනත හරහා විකාශන නියාමන කොමිසමක් ස්ථාපිත කර රටේ මාධ්‍ය මර්දනයට හා ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කෑමටයි ආණ්ඩුව නව පනතක් ගෙන ඒමට කටයුතු කරන්නේ .
මේ නව පනත ගෙන ඒමෙන් පසු රූපවාහිනී මාධ්‍ය බලපත්‍රය වලංගු වන්නේ මේ පනත සම්මත වී මාස 6කට පමණක්. ඉන් පසුව වාර්ෂිකව බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලියකට රූපවාහිනී නාලිකා යොමු කිරීමට කටයුතු කරනවා.
මේ බලපත්‍රය ලබා දීමේ දී අදාළ මාධ්‍ය ආයතනය ආණ්ඩුව ගැති හෝ එසේ නොමැති ද කියා සොයා බලනවා. එය පදනම් කර ගෙන බලපත්‍ර තහංචි ඇති කර මේ රටේ මාධ්‍ය මර්දනයේ අලුත් පරිච්ඡේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව මේ කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ හරහා දැවැන්ත ලෙස මාධ්‍ය මර්දනයක් සිදු කර ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් සිදු කරනවා.
රාජ්‍ය අනුග්‍රහය මත අනුමත වූ ප්‍රවෘත්ති පමණක් ජනතාවට විකාශනය කරන මාධ්‍ය නාලිකා නිර්මාණය කිරීමක් මේ යටතේ සිදු වෙනවා. විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට පසු සිවුවන ආණ්ඩුව ලෙස හඳුන්වන නිදහස් ස්වාධීන මාධ්‍ය මේ යටතේ නියාමනය කිරීමක් සිදු වෙනවා.
මැතිවරණ සිතියම හකුළා රටේ ලක්ෂ 220ම ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වීමේ පනත් ගෙන ඒමට උත්සාහ කරනවා. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින අතරතුර මාධ්‍ය ආයතන ද මර්දනය කිරීමට සූදානම්. නමුත් විපක්ෂයක් ලෙස එකට එකතු වී මේ ක්‍රියාවලිය පරාජය කරන ලෙස ඉල්ලා සිටිනවා. අධිකරණයේ පිහිට පතා මේ ක්‍රියාවලිය කෙසේ හෝ පරාජය කරනවා. ඒ සඳහා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගනවා යැයි පැවසීය. මාධ්‍ය ආයතනවලට කියන්න ඇත්තේ සත්‍යවාදීව නිවැරැදි තොරතුරු වාර්තා කරන ලෙසයි. ඔබව ආරක්ෂා කිරීමේ වගකීම විපක්ෂය භාර ගන්නවා. එබැවින් බිය නොවී ජනතාවට සත්‍ය පැවසීමට පෙරමුණ ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.
රක්ෂණ ශ්‍රියන්ත
නව අදහස දක්වන්න