අඩතැනි කලාපයේ ශේෂ කඳුවැටියක් පණ ගැහෙන්නට පටන් ගත්තේ අද වැනි දිනකය. කළුගල් කන්දක්, ශිෂ්ටාචාරයේ අලුත් කතාවක් ලියා තිබේ. මෙය සමස්ත මානව වංශ කතාවේම හැරවුමකි. මේ රටේ හැම ඓතිහාසික සිදුවීමක්ම මේ කාලයේදී ගැරහුම් ලබයි. එක්කෝ ඒවා මිථ්‍යා කතා බවට සමහරු දොඩවති. නැතිනම් එහි සුවිශේෂභාවයට ගරහති. මේ සියල්ල සිදු කරන්නේ සිංහල බෞද්ධයාට එරෙහිවය. කලාව ද දේශපාලනය ද ඉතිහාසය ද පුරාවිද්‍යාව ද යන සියලු ක්ෂේත්‍රයන්හි පොරක් වීම සඳහා පහසු මඟ, සිංහල බෞද්ධයාගේ ඉතිහාසයට දෙස් දීමය. නැතිනම් අර්ථකථනය වෙනස් කර, මහාවංශයේ සඳහනට එරෙහිව යෑමය.
මිහිඳු හිමියෝ ප්‍රශ්නාවලියක් විමසා, මේ රාජ්‍ය, බෞද්ධාගම සමඟ පළමුව සමපාත කළේය. ඒ එතෙක් මතුපිට වැවී තිබූ, බෞද්ධාගම, මේ පොළොවේ මුල් අදිනු පිණිසය. මේ රටේ උපන් අයෙකු මහණ උපසම්පදා කරවා, ශාසනය පිහිටුවන ලද්දේ අද වැනි දිනක සිදුවූ මහින්දාගමනය නිසාය.
එතැන් පටන් මේ රට ගෝත්‍රික යුග පසු කර නව රාජ්‍ය සහ සංස්කෘතික පරිවර්තනයකට ලක් විය. මේ ගමනේ එක් කතාවක් මෑතකදී අනාවරණය විය. පොසොන් උදාව යනු පොඩි දරුවෝ මිහින්තලා සාදා සමරන්නක් සේම, වැඩිහිටි අප දාර්ශනික ආකාරයෙන් ද සැමරිය යුත්තකි. එහෙයින් හැමදාම කරන පොසොන් කතාවක් නොව අලුත් කතා ද මහින්දාගමනයෙන් මේ දේශය නිර්මාණය කර ඇති බව අප තේරුම් ගත යුත්තේය.
බිංදුව හෙවත් ගණිතයේ එන ශූන්‍ය පිළිබඳව වූ කතාව මහින්දාගමනය ලෝකයට දුන් දායාදයකි. ශූන්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් දැන් වසර ගණනාවක සිට ආචාර්ය නලින් ද සිල්වා සිය ලිපිහි සඳහන් කළේය. ඒ සමයේ ඔහුගේ මතය වී තිබුණේ, ශුන්‍යතාවය යන සංකල්පය නිර්මාණය විය හැක්කේ, චතුස්කෝටිකය සහ ශුන්‍ය යන ධර්මය ඇති බුද්ධාගමෙන් බවය. ඉන් පසුව දිගින් දිගටම ඔහු යෙදුණු සොයා බැලීමක ප්‍රතිඵලයක් ලෙස, අද වන විට බිංදුවේ නිර්මාණය සිංහලයා වෙත හිමිකර දී තිබේ.
රෝදය සොයා නොගත්තේ නම් අපගේ ලෝකයේ භෞතික කාර්යාවලිය කෙසේ වනු ඇද්ද...? ඔබ අවට ඇති රෝද අතහැර ලෝකය දෙස බැලුව හොත්, ඒ සියල්ල අපට මේ හැඩය නොමැති නම් අහිමි වන බව දැන ගත හැකිය. එසේ නම් මානවයා සිය ගමන කොතරම් වෙනස් මාවතක ධාවනය කරනු ඇද්ද...? බිංදුව පිළිබඳ කතාව සොයා යන ආචාර්ය නලින් ද සිල්වා වෙත ඒ පිළිබඳව ලියැවුණු අමීර් ඩී. ඇක්සල්ගේ ශුන්‍ය සොයා යෑම (Finding Zero) යන පොත කියවීමට ලැබේ. එතැන් සිට ඔහු බිංදුව පස්සෙන් පැන්නීමේදී, ආචාර්ය හර්ෂ විජේවර්ධන බිංදුව පිළිබඳව ලියන ලද පත්‍රිකාවක් සොයා ගන්නේය.
ආචාර්ය හර්ෂ විජේවර්ධන බිංදුවක් සොයා යන්නේ, ශුන්‍ය යේ ඉතිහාසය සෙවීමට නොවේ. පරිගණකයේ සිංහල භාෂාව පිළිබඳව ඇතිවූ ගැටලුවක් නිරාකරණය වෙනුවෙනි. සීගිරිය කෞතුකාගාරයේ ඇති ගඩොලක, හල් කිරීම බඳු සංකේතයක් යොදා බිංදුව මූර්තිමත් කර ඇති ආකාරය ඔහු සිය පර්යේෂණයේදී සොයා ගත්තේය. ඒ අනුව ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති බිංදුව සංකේතයක් ලෙස යෙදූ පළමු අවස්ථාව එයය.
සංකේතයක් ලෙස බිංදුව එන්නේ නිකම් නොවේ. එය සොයා ගත් පසු නිරූපණය සඳහා ද යමක් අවශ්‍ය බැවිනි. එසේ නම් දැනට ඇති සාධක අනුව ලෝකයට බිංදුව දී ඇත්තේ සිංහල බෞද්ධයන් යැයි කිව හැකිය. මේ මතය තවත් වර්ධනය කරමින් ආචාර්ය නලින් ද සිල්වා මේ දිනවල කාලය වෙබ් අඩවියේ ලිපි කිහිපයක් ලියා තිබේ.
මහින්දාගමනය යනු එවන් ආශ්චර්යයකි. එය ලෝකයට බොහෝ දේ දුන් ගමනකි. බිංදුවේ කතාව යන්න සෙල්ලම් නැත. බිංදුව නැති ලෝකයක් යනු කෙසේ වනු ඇද්ද...? බිංදුවට පෙර ලෝකය දෙස බලා ඒ ගැන අදහසක් ඇති කර ගත හැකිය. නූතන ගණිතයේදී බිංදුව සිදු කරන මෙහෙවර කොතරම් ද කිවහොත්, බිංදුව නැත්නම් ගණිතය විෂය ද මේ ගමන එන්නේ නැත. ඒ මහින්දාගමනය ගිය ගමනක තරමය. මේ ගමනේ තිස්ස රජතුමා, මුවා ආදී පිරිසට පමණක් සීමා කරන්නේ පහේ හයේ පොඩි දරුවෝය. ඊට එහා යන කතාවක් මීට දෙදහස් තුන්සිය තිස් වසරකට පෙර, මිස්සක පව්වෙන් විහිදී ගියේය.
අද දවසේ මිහින්තලයට ඇත්තේ කළුවර පිළිබඳ ප්‍රශ්නයන්ය. රටක මෝහ අඳුර දුරු කළ, දිනයක් මෝහයෙන් වැසී සිටින චැලෙන්ජර්ධාරියෙකු එතැනට පත් කර තිබේ. මේ චරිත ගැන එළිපිට කතා කළ හැකි දේට වඩා කතා කළ නොහැකි දේ බොහෝය. එවැනි 'හිස් පාත්තර' ගැන අදවන් උතුම් දිනක කතා කිරීමට සිදුවීම ගැන පාඨකයෝ කමත්වා...!
පාපතරයා නොයෙක් වේශයෙන් සිටිය හැකිය. එක් විටක අසාධාරණය වෙනුවෙන් සටන් වදින බව හේ පෙන්වයි. තවත් විටක ආණ්ඩු විරෝධියෙකි. තවත් විටක අරගලකාරීය. ඒ සියල්ලම චැලෙන්ජර් රෙද්දකින් වැසූ කල්හි, ඔහු සංඝරත්නය යැයි සමහරෙක් සිතති. ඒවා තෙමේම තමාව ගර්හාවට පාත්‍ර කර ගන්නා කාරණාය.
අනුබුදු මිහිඳු හිමි සපැමිණීම සැමරීම ද අරගලයක් බවට පත් කර ගැනීමේ පාපය මේ තැනැත්තා මරණ මංචකයේ හෝ විඳවනු ඇත. දෙදහස් දෙසිය තිහක එම ගමනේ සංවත්සරය අපට උත්කර්ෂවත්ව සැමරීමට නොහැකි වූයේ , මෙවැනි නැති ප්‍රශ්න ඇති කිරීම නිසාය. කම් නැත. රටම ඒ සියල්ල පසෙක ලා තෙරුවන පෙරදැරිව පොසොන් සමරන්නේය. පොසොන් මරන්නට ආ අයගේ රැඟුම් තවදුරටත් වලංගු නැති බව ඒ මහා ජනතාව අද දවසේ දාන, ශීල, භාවනා පෙරදැරිව පෙන්වා දෙනු ඇත.
නව අදහස දක්වන්න