තිස්හය වසරකට පෙර අරන්තලාවේ දවසක් | දිනමිණ

තිස්හය වසරකට පෙර අරන්තලාවේ දවසක්

2023 ජූනි 02 (අද) දිනට යෙදෙන 36 වැනි අරන්තලා භික්ෂු ඝාතන සමරුව නිමිත්තෙනි.

අම්පාර දිගාමඩුල්ලේ විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන ගණනාවක් ඉදිකර නැගෙනහිර පළාතට සුවිසල් මෙහෙවරක් ඉටු කළ උතුරු හා නැඟෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍යපාද හෑබොඩ ශ්‍රි ඉන්දසාර නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ උන්වහන්සේගේ ශිෂ්‍ය සාමණේර තිස්නම 1987 ජූනි 02 වැනිදා අම්පාර මහඔය පාරේ අරන්තලාවේදි දෙමළ ත්‍රස්තවාදීන් විසින් අමානුෂික අන්දමින් කපාකොටා වෙඩි තබා ඝාතනය කර මෙම වසරේ ජූනි 02වැනිදාට වසර 36ක් සම්පූර්ණ වේ. මෙම ඝාතනය කිරීමේ දෙමළ ඊළාම් ත්‍රස්තවාදීන්ගේ අරමුණ අන් කිසිවක් නොව නැඟෙෙනහිර පළාතෙන් සිංහල බෞද්ධයන් එළවා දමා උතුරු හා නැඟෙනහිර දෙමළ නිජ භූමියක් ලෙස තහවුරු කර ගැනීමයි. එදා ත්‍රස්තවාදීන් ඉන්දසාර නාහිමියන් ඇතුළු සාමණේර හිමිවරු හඩා වැළපෙද්දී උන්වහන්සේලා වැඩම කළ බස් රථය පාරෙන් ඉවතට රැගෙන ගොස් කපා කොටා වෙඩි තබා සිදු කළ මිලේච්ඡ ඝාතනය ඊළමට මඟ හදන මෙරට සිටින දෙමළ දේශපාලකයින් මෙන්ම දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ බෙදුම්වාදීන් හොඳාකාරවම දන්නා නමුත් ඔවුන් ඒ ගැන කිසිවක් කියන්නේ නැත. 

මෙම මිලේච්ඡ ඝාතනය හැරුණ විට වැලිඔය කලාපයෙන් ධීවර ජනතාව සියගණනක් කපා කොටා මරා දැමීම, 1985 මැයි 14වැනිදා අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පහර දීමට පැමිණ එහි වන්දනා කරමින් සිටි හා මංමාවත්වල සිටි පන්සියයකට ආසන්න අහිංසක ජනතාව වෙඩි තබා ඝාතනය කිරීම, 1991/01/02 බෝගමුයයායට පහර දී වයස 3ක කිරි දරුවෙකු ඇතුළු ළමයින් 13ක් කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමි 6දෙනෙකු වශයෙන් 27දෙනෙක් මිලේච්ඡ ලෙස ඝාතනය කිරීම, 1991 අප්‍රේල් මාසය තුළ අම්පාර දිස්ත්‍රික්කය තුළ ගම්මාන කිහිපයක අහිංසක ජනතාව 46දෙනෙක් ඝාතනය කිරීම, 1995/10/20 මොනරාගල දිස්ත්‍රික්කයේ අහිංසක ජනතාව 23දෙනෙක් ඝාතනය කිරීම, 1999/9/18 අම්පාර දිස්ත්‍රික්කයේ ගලපිටගල ප්‍රදේශයේ 50 දෙනෙකු ඝාතනය කිරීම, 1998/01/25 වැනිදා දළදා මාලිගාවට පහර දීම යන මේ ප්‍රහාරයන් හැරුණ විට වවුනියාව, මන්නාරම. වැලිඔය කලාපය, කැබැතිගොල්ලාව, නාමල්ගම ආදී විවිධ ප්‍රදේශවලදී දෙමළ ත්‍රස්තවාදීන් විසින් කපාකොටා ඝාතනය කළ සිංහල ජනතාව බොහෝ දෙනෙක් වෙති.

අමානුෂික මිනිස් ඝාතන

වැලිඔය කලාපයේ වාහල්කඩට කඩා වැදුණු ත්‍රස්තවාදීන් ගම්වැසියන් මරා දමද්දී හමුදා ඇඳුමට සමාන ඇඳුමෙන් සිටි නිසා ආරක්ෂාව පතා තමා ළඟට දුව ආ දරුවෙකුගේ දෙකකුලෙන් අල්ලා ඔළුව කුඩු වී යන සේ බෝක්කුවක ගසනු සැඟවී බලා සිටි ගම්වැසියෙක් දැක එය අපට විස්තර කරද්දී දරාගත නොහැකි වේදනාවක් ඇති විය. මේ හැරුණ විට අවස්ථා කිහිපයකදීම කොළඹට පහර එල්ල කිරීම, කටුනායක ගුවන් තොටුපලට පහර එල්ල කිරීම, සේරුවිල කන්තලේ මාර්ගයේ බස්රථවල ගමන්ගත් අහිංසක මිනිසුන්ට බිම්බෝම්බ අටවා ඒවා පුපුරවා ඝාතනය කිරීම වැනි අමානුෂික මිනිස් ඝාතන පිළිඳව අද බොහෝ දෙනා කතා කරන්නේ නැත. ඇතැම් අනුවණ සිංහලයින් පවා කතා කරන්නේ ලියන්නේ දෙමළ ජනයාට සිදු වූ අසාධාරණකම් ගැනයි.

ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ සටන්වලදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් මුහුණට මුහුණලා සටන් කරද්දී ත්‍රස්තවාදීන් මිය ගියා මිස කිසිදු අවස්ථාවක දෙමළ ජනයා ජීවත් වන ගම්මානවලට පහරදී දෙමළ ජන සංහාරයක් සිදු කර නැත. එහෙත් දෙමළ ඩයස්පපෝරාව හා එයට සම්බන්ධ දෙමළ ජනයා මෙන්ම ඔවුන්ගේ ප්‍රචාරක ජාලයට අසුවූ යුරෝපීයන්ද කියන්නේ සිංහල හමුදාව දෙමළ ජනසංහාරයක් සිදු කළ බවයි. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයකි. සත්‍යය නම් දෙමළ ත්‍රස්තවාදීන් උතුරු හා නැඟෙනහිර පළාත්වල මෙන්ම ඉන් පිටත පළාත්වලදී ද සිංහලයින් ඝාතනය කර සිංහල ජන සංහාරයක් සිදුකළ බවයි. සිංහලයින් තම උරුමයන් රැකගැනීමට උත්සාහ කරන අතර දෙමළ දේශපාලකයින් උතුරු හා නැඟෙනහිර සිංහල බෞද්ධ උරුමයන් නැතැයි කියමින් එම ප්‍රදේශවල ඇති පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමට ඉඩ නොදෙති. එසේ ක්‍රියාකරන ඔවුහු ජාත්‍යන්තරය තුළ රුද්‍රකුමාරන් වැනි බෙදුම්වාදීන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළමක් බිහිකර ගැනීමට ක්‍රියා කරති. පසුගියදා පැවති ඔවුන්ගේ සම්මේලනයකට කැනඩා අගමැති පවා පැමිණ සිටි බව වාර්තා විණි.

විදේශීය රටවල සහයෝගය

අරන්තලා භික්ෂු ඝාතනය වැනි මිලේච්ඡ ඝාතන සිදුකරමින් ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් (දෙමළ ඊළමක්) බිහි කර ගැනීමට ත්‍රස්තවාදය හා දෙමළ දේශපාලනය යොදාගත් දෙමළ බෙදුම්වාදීහු තම ප්‍රචාරක ජාලය හරහා විදේශීය රටවල සහයෝගය ලබා ගන්නා තැනට කටයුතු යොදාගෙන ඇත. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ 1977 බලයට පැමිණි ජේ. ආර් ජයවර්ධනගේ පාලන සමයෙහි විදේශ රටවල තානාපතිවරුන් ලෙස පත්වීම් ලැබූ දෙමළ බෙදුම්වාදීන් ඔවුන්ගේ ප්‍රචාරක ජාලය හරහා ඔවුන්ට ශ්‍රී ලංකාවේ දෙමළ නිජබිමක් ඇතැයි ඒත්තු ගැන්වීමට සමත් විමයි. ඒ සමඟම ශ්‍රී ලංකා රජය විදේශ අමාත්‍යාංංශය හා විදේශීය තානාපතිවරුන් දෙමළ ඊළාම් බෙදුම්වාදය ප්‍රචාරයට ඉඩදී සත්‍ය තත්ත්වය ලෝකයට හෙළිදරව් නොකිරීමයි.

සිංහල හා මුස්ලිම් ජනයාට මෙන්ම අහිංසක දෙමළ ජනතාවට පවා හිසරදයක්ව පැවති දෙමළ ත්‍රස්තවාදය 2009 මැයි 18 වැනිදා මුළුමනින්ම පරාජය කිරීමෙන් පසුව දෙමළ බෙදුම්වාදී දේශපාලනයට එරෙහිව ඒකීය රාජ්‍ය තහවුරු කිරීමට මෙරට දේශපාලකයින් කටයුතු නොකිරීම නිසා මේ වනවිට ලෝකය පුරා විශේෂයෙන්ම බටහිර ලෝකය තුළ දෙමළ දේශපාලන වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව තුළ එම දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමටත් ඉඩහසර සෑදී ඇත. රටේ ඒකීයභාවය වෙනුවෙන් තම ජීවිත පූජා කළ 29000ක් පමණ වූ රණවිරුවන්ගේ නාමයෙන් ඒ හා සමාන අබාධිත වූ රණවිරුවන්ගේ නාමයෙන් අරන්තලාවේදී ජීවිත පූජා කළ භික්ෂූන් වහන්සේලාගේ නාමයෙන් මෙන්ම දෙමළ ත්‍රස්තවාදීන්ගේ ඝාතනයට ලක්ව දිවි පිදු අහිංසක ජනතාවගේ නාමයෙන් මේ රට දෙකඩ කර දෙමළ ඊළමක් බිහිවීම වළක්වාලීම ශ්‍රී ලංකා මාතෘභූමියට ආදරය කරන සියලු දෙනාගේ යුතුකම හා වගකීම බව අවධාරණය කරමු. 

භික්ෂු ස්මාරකය අභියස

එදා අරන්තලාවේදි දෙමළ ත්‍රස්තවාදීන් ඝාතනය කළ හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියෝ නැ‍ෙඟනහිර පළාතේ සර්වාගමික සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරමින් සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය උදෙසා සුවිසල් වැඩකොටසක් ඉටු කළහ. විශ්‍රාමික දෙමළ උගතුන් යොදාගෙන තමන් වහන්සේගේ පිරිවෙනෙහි ශිෂ්‍යයන්ට දෙමළ උගන්වා දෙමළ බසින් ධර්මය දේශනා කිරීමට භික්ෂූන් වහන්සේලා පුරුදු කළහ. අහිංසක දෙමළ ජනයා ජීවත්වූ ගම්මානවලට උදව් උපකාර කළහ. ත්‍රස්තවාදීන් උන්වහන්සේ ඝාතනය කළේ මේ බව නොදැන නොවේ. ඔවුන්ට අවශ්‍ය වුණේ සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය නොව උතුරු හා නැඟෙනහිරෙන් සිංහල හා මුස්ලිම් ජනයා එළවා දමා වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීමයි. උතුරු හා නැඟෙනහිර ඒකාබද්ධ කර දෙමළ ඊළමක් පිහිටුවීම වර්තමානයේ සිටින දෙමළ දේශපාලකයන්ගේ ද අරමුණයි.

අරන්තලා භික්ෂු ඝාතනය සමරමින් වැඩසටහන් කිහිපයක්ම පැවැත්වීමට හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය ශාස්ත්‍රපති කිරිඳිවැල සෝමරතන නාහිමියන් කටයුතු යොදා ඇත. ජූනි 01වැනිදා කුල දරුවන් පිරිසක් සසුන්ගත කිරීම, යුගාසන කාව්‍ය ධර්ම දේශනය, මහා පහන් පූජාව සමඟ බෝධි ජූජාව හා සර්වරාත්‍රික පරිත්‍යාන ධර්ම දේශනයද ජූනි 02වැනිදා කිරි පිඬු බුද්ධ පූජාව, පිණ්ඩපාත චාරිකාව, රුක්රෝපණ වැඩසටහන අරන්තලාව භික්ෂු ස්මාරකය අභියස අධිෂ්ඨාන පූජාව, භාවනා කුටි 31ක් හා භාවනා ශාලාව ඉදිකිරීමට මුල්ගල තැබීම, ගුණසමරු උත්සව සභාව හා දහම් හමුව හා එදින දහවල් 250ක් වූ මහා සඟරුවනට දන් පිරිනැමීම යන මෙම කටයුතු සිදු කිරීමට සංවිධානය කර ඇත. මෙම උතුම් පිංකම්වල බලයෙන් එදා ඝාතනයට ලක්වූ නාහිමිපාණන් ඇතුළු සාමණේර හිමිවරුන්ට පිංදීමත් මෙවන් මිලේච්ඡ ඝාතන කිසික‍ෙලකත් මෙරට සිදුනොවේවායි ප්‍රාර්ථනා කිරීමත් මෙරට බෞද්ධ උරුමයන් ආරක්ෂා වී සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා සමගි සම්පන්නව ශ්‍රී ලංකාව තුළ ජිවත් වීමට මඟ සැළසේවායයි ප්‍රාර්ථනා කිරීමත් මෙම පිංකම්වල අරමුණ බව කිරිඳිවැල සෝමරතන හිමියෝ පවසති. එම උදාර අරමුණ එලෙසම ඉටුවේවායි අපිදු ප්‍රාර්ථනා කරමු.

නව අදහස දක්වන්න