ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම අරමුණු කරගෙන තමන් ජනතාවාදි අයකු බව පෙන්වීම සඳහා විදුලි බලය වැඩි කිරීමට එරෙහි වූ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක වැනි අයකු වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්වරුන් පෙනී සිටීම කනගාටුදායක බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. යෝගරාජන් මහතා පැවසීය.
අයි.එම්.එෆ්. කොන්දේසියක් වශයෙන් විදුලිබල මණ්ඩලය පාඩු නොලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා විදුලි බිල වැඩි කිරීමට රජය උත්සාහ කරන විට ජනක රත්නායකට අවශ්‍ය වුණේ ඉදිරියේදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණින් ඔහු ජනතාවාදී බව පෙන්වීම බවත් කී යෝගරාජන් මහතා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කරයි ද නැති නම් ඔහුගේ පිටුපස හැංගෙයි ද යන කාරණය මහජනතාව බලා සිටින බවත් සඳහන් කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (30) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී යෝගරාජන් මහතා මෙසේද කීය.
අලුත් ජනාධිපති අපේක්ෂකයකු විපක්ෂයෙන් ඉදිරිපත් කරමින් සිටින බව වර්තමානයේ අපට දකින්නට ලැබෙනවා. ඒ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතායි. පාර්ලිමේන්තුවේදී ඔහු ඉවත් කිරීම සම්බන්ධව පැවැත්වුණු ඡන්දයේදී ඡන්ද එකසිය විසිහතරක් ලබාගෙන ඔහු තනතුරෙන් නෙරපා හැරීමට රජයට හැකියාව ලැබුණා. ටී.එන්.ඒ. ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටියේ නැහැ. තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් උදවු කළ කෙනෙක් බව ඔහුම ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ සුදුසුකම් හෝ උගත්කමට වඩා දේශපාලන වශයෙන් උදවු දුන්න ව්‍යාපාරිකයකු වශයෙන් ඔහුට ඒ තනතුර හිමි වෙලා තිබුණා. ඔහු කරළියට එන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය කපන වෙලාවල් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වපු කෙනෙක් විදිහටයි. ඔහුට අවශ්‍ය වුණේ ජනතාවට තමන්ගේ මුහුණ පෙන්නා ජනප්‍රිය වෙන්න පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සමඟ පාඩු නොලබන ආයතනයක් විදිහට පවත්වාගෙන යෑමට නම් යම් ප්‍රමාණයක් විදුලි බිල ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලයට සිද්ධ වුණා. ඒ මොහොතේ ජනක රත්නායක ජනතාවගේ පැත්තේ ඉන්නවා යැයි පෙන්නන්න උත්සාහ ගත්තා.
ඒ වගේම ඛනිජ තෙල් සංස්ථාවද පාඩු නොලබන ආයතනයක් විදිහට පවත්වාගෙන යා යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබුණා. ඒ නිසා මිල වැඩි කිරීමට සිද්ධ වුණා. දැන් ඉන්ධන මිල අඩු කර තිබෙනවා.
ශිරෝමි අබයසිංහ
නව අදහස දක්වන්න