මතීෂ විස්ඩන් සඟරාවේ ක්‍රිකට් පිලටත් නම් කරයි | දිනමිණ

මතීෂ විස්ඩන් සඟරාවේ ක්‍රිකට් පිලටත් නම් කරයි

ලෝක ප්‍රකට විස්ඩන් සඟරාව විසින් නම් කරන ලද, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුවිශේෂී ක්‍රීඩකයන් 11ට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නම් කරයි. ලෝකයේ අති විශිෂ්ට ක්‍රීඩකයන් සියල්ල සහභාගී වූ අයිපීඑල් තරගාවලිය නිමා වූ වහාම විස්ඩන් සඟරාව විසින් ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් යටතේ ලොව හොඳම ක්‍රීඩක කණ්ඩායම නම් කරනු ලබයි.

ඒ අනුව එම කණ්ඩායමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇතුළත් වීම විශේෂත්වයකි. ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හිමි කර ගත්තේය. එහෙත් විස්ඩන් ක්‍රිකට් පිලට දෝනි නම් කර නැත. අනුශූරතාව දිනාගත් ගුජරාට් ටයිටන්ස් පිලෙන් ක්‍රීඩකයන් සිවුදෙනකු මීට නම් කොට තිබේ.

මතීෂ එම අවසන් තරගයේදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූ අතර, මෙවර තරගාවලියේ තරග 12දී කඩුලු 19ක් බිඳ හෙළීමට හෙතෙම සමත් විය.

විස්ඩන් සඟරාව නම් කළ කණ්ඩායමට රොයල් චැ‍ෙලන්ජර්ස් පිලේ ෆෆ් ඩූ ෆෙලසීස් (අර්ධ ශතක 8ක් සමඟ ලකුණු 730), රාජස්ථාන් රෝයල්ස් පිලේ යසාස්වී ජායිස්වාල් (ශතක 1ක්, අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 625), ගුජරාට් ටයිටන්ස් පිලේ සුබ්මන් ගිල් (ශතක 3ක්, අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 890), මුම්බායි ඉන්දියන්ස් පිලේ සූර්යකුමාර් යාදව් (ශතක 1ක්, අර්ධ ශතක 5ක් සමඟ ලකුණු 605), සන්රයිස් හයිද්‍රාබාද් පිලේ හෙයින්රික් ක්ලාසෙන් (ශතක 1ක්, අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 448), කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ රින්කු සිං (අර්ධ ශතක 4ක් සමඟ ලකුණු 474), චෙන්නායි සුපර් කිංග්ස් පිලේ රවීන්ද්‍ර ජඩේජා (කඩුලු 20ක් හා ලකුණු 190), ගුජරාට් ටයිටන්ස් පිලේ රෂීඩ් ඛාන් (කඩුලු 27ක් හා ලකුණු 130), මොහොමඩ් ෂාමී (කඩුලු 28ක්), මොහිට් ෂර්මා (කඩුලු 27) හා චෙන්නායි සුපර් කිංග්ස් පිලේ මතීෂ පතිරණ (කඩුලු 19) යන ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න