කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියා ප්‍රාර්ථනා කිරීම කල් තියාම සැලසුම් කරන ලද්දකි. හොඳ පැණි බෝතලයක ගාණ අසන්නේ ගැනීමට නොවේ. ‘අද මම කිතුල් පැණි බෝතලයක ගාණ ඇහැව්වා. දැන් ඒකත් මාර ගණන්’ යැයි කියන්නටය. කිතුලක් මැදීම කියන්නේ දුෂ්කර කාර්යයක් නොවේ. එහෙත් නම්බුකාරකම සමඟ එය පෑහෙන්නේ නැත. ත්‍රීවීලයක් අරගෙන හයර් දිවීම ඊට වඩා නම්බුවක් බව අවබෝධ කරගැනීම සහ වාහනයක් එක්ක අඩු මහන්සියෙන් ගතමන්ට් එකක් ලබා ගැනීම ඊට වඩා පහසු හෙයින්, ගමේ කිතුලක නැඟීමට හයියක් ඇති වයසේ අය ත්‍රීවීල් රස්සාවට බසින්නේය. මේ නිසා ග්‍රාමීය ආර්ථිකයේ ගාමක ශ්‍රම බලවේගය දැන් සේවා ආර්ථිකයන් වෙත පමණක් සංකේන්ද්‍රණය වී තිබේ. හරකාගෙන් කිරි දොවන්නට කෙනෙකු නැත. තණකොළ ගොල්ලක් ළඟ ඌව ගාල් කරන්නට කවුරුත් නැත. යැපුම් කෘෂිකර්මාන්තයක් ලෙස තිබූ ‘කිරි’ කඩෙන් ගන්නා පැකැට්ටුවක් බවට පත්වන්නේ මේ නිසාය. කිරි පිටි සමාගම් ගණන් ඉස්සූ ගමන් ආණ්ඩු පෙරළන සටන් පාඨයක් බවට එය පත්වන්නේ, මේ නිසාය.
ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 750කි. අහන්නට දෙයක් නැත. අනික් ඒවා මෙන්ම අපි මේ අවශ්‍යතාවයෙන් නිපදවන්නේ අඩු ප්‍රමාණයකි. වැඩි ප්‍රමාණයක් ගෙන්වනු ලබයි. අප කිරි නිෂ්පාදනය කරනුයේ ලීටර් මිලියන 422කි. ඒ කියන්නේ අප නිපදවන පංගුව සියයට 40කි. සියයට 60ක් ආනයනය කළ යුතුය. අපට කිරි උතුරන්නේ, නවසීලන්තයෙන් ‘බඩු පැකට් කළොත්’ පමණය.
අද ලෝක කිරි දිනය ය. රටේ වෙන වින්නැහි ප්‍රමාණය අනුව එවැනි දිනයක් ගැන සමාජ සංවාදයක් ඇති කිරීමට මාධ්‍යයට අවකාශයක් හෝ වෙලාවක් නැත. මේ නිසා ආණ්ඩුව කරන මොකක් හෝ අහගෙන ඉන්නවා හැර, ඒවා අපේ ඇඟේ ඇලෙන්නේ ද නැත. මේ රටේ ආණ්ඩු කිරි නිෂ්පාදනය නැංවීම සඳහා සිදු කළ සාකච්ඡා සහ ඒ ගැන කියූ කතා සැබෑ වුණා නම්, සාමාන්‍ය පෙළ විභාගයට යන පොඩි එකා ගෙදරින් පිටත් වන්නේ ‘කිරෙන් නාගෙන’ය. ඉන්දියාවේ යන්නේ කිරි කෝච්චිය. ඒ ගමනට මුල් වූයේ ක්ෂීර විප්ලවය නම් ක්‍රියාදාමය ය. රටකට කිරි උතුරනවා කියන්නේ ඒකටය.
කඳ බඩ මහත, රෑට අඩියක් ගහන, මහ එවුන් සමඟ මේ කතා වැඩක් නැත. පාසල් යන දරුවන්ගේ දැන ගැනීමට සහ හැදෑරීමට මේ කතිකාව අප දියත් කළ යුතුය.
ඉන්දියාව කිරි සංස්කෘතියක් ඇති රටකි. එහෙම වූ පළියට වැස්සියෝ පැටවු වදා, කිරි දොවා, බෙලෙක් බාල්දියට ඒවා පුරවා, ‘බීපං’ කියා දොරකඩ තබන්නේ නැත. ඉන්දියාවේ කිරි විප්ලවය නමේ සිටම ‘එළ’ වැඩකි. උතුරන මෙහෙයුම හෙවත් ඔපරේෂන් ෆරඩ් කියා ඊට නම යොදන්නෙම, කිරි ඉතිරේවා යන අර්ථය පෙරදැරිවය. 1970 ජනවාරි 13 දින මේ මෙහෙයුම ආරම්භ විය. කිරි හිඟයක් තිබූ ඉන්දියාව, ලෝකයේ ලොකුම කිරි නිෂ්පාදකයා වූයේ ඒ ‘එළකිරි’ විප්ලවයෙනි. 1998දී ඇමරිකා එක්සත් ජනපදය අභිභවා යමින් කිරි නිපදවූ ඉන්දියාව, අද ලෝකයේ ලොකුම කිරි නිෂ්පාදකයාය. 2018දී ගෝලීය නිෂ්පාදනයෙන් සියයට 22.29ක පංගුවක් ලබා දුන්නේ ඉන්දියාවේ එළදෙනුන්ය. මේ ධවල විප්ලවයේ නියමුවා, අමුල් ආයතනයේ සභාපති සහ නිර්මාතෘ ආචාර්ය වර්ගීස් කුරියන්ය.
ධවල විප්ලවයට අරමුණු තුනක් තිබුණි. ඒවා ඉතා සරලය. අපේ ව්‍යාපෘතියක අරමුණු කියවන විටම, පොඩි ක්ලාන්ත ගතියක් එන්නේය. ඒවා ආචාර්ය උපාධි නිබන්ධන සේය. ජනතාවට තියා, ලියාපු එකාට ද පස්සේ එය නොතේරේ.
නිෂ්පාදනය වැඩි කිරීම මඟින් කිරි ඉතිරවීම
ග්‍රාමීය ජනතාවගේ ආදායම වැඩි කිරීම
පාරිභෝගිකයන්ට සාධාරණ මිලට කිරි ලබා දීම
යන තෙවැදෑරුම කොළයෙන් එළියටවිත්, පාරට බැස්සේය. පළමු අභියෝගය වූයේ ‘මැද හිස් කිරීමය’. අතරමැදියාගේ ගසා කෑම යනු අපිට ‘කෑම’ හිඟ වීමය. කිරි ගොවි සමුපකාරයක් බවට ඉන්දියාවේ සමස්ත කිරි ව්‍යාපාරයම පත්වන්නේය. හැම ගොවියෙක්ම අමුල්හි කොටස්කරුවෙක් විය.
මෙබඳු සරල ආකෘතියක් ඉන්දියාව වැනි, කුලයේ සිට භේද බලන රටක සිදු කිරීම ලෙහෙසි නැත. ඒ ගොවියන්ගෙන් බර ගාණකට අකුරු පවා බැරිය. දෙනකුගෙන් කිරි දොවනවා හැරුණු කල ඔවුන් දන්නේ, දෙවියන් යැදීම පමණය. එහෙම මිනිස්සු සමඟ වැඩ කිරීමට පුළුවන. අපේ එව්වෝ දන්නවා වැඩිය. ඒ නිසා කිසි දෙයක් අහන්නේ නැත. කිරි ව්‍යාපාරය පමණක් නොව කුමන හෝ දෙයක් කරන්නේ නම්, මුලින්ම ඒ දෙඩවීමට නාස් ලණුව දැමිය යුතුය. මේ රටේ කිරි ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට නම් පළමුව, උදෙන් පටන්ගෙන, දවසට දෙවාරයක් පමණ පිටිකිරි බීම නතර කළ යුතුය. එතැනින් දිරි ගැන්විය යුත්තේ, රටේ හදන කිරි ප්‍රමාණයට, අපි ඇජස් වීමය.
ඉන්දියාවේ මෙන් අපේ රටේ කිරි සංස්කෘතියක් නැත. අපි හැදුවේ මී වස්සෝය. ඒ කුඹුරේ වැඩටය. එතැනින් එන අතුරුඵලය මීකිරිය. මීකිරි උෂ්ණය. ඒ නිසා අපේ ඇත්තෝ කිරි මුදවා කෑහ. මේ නිසා අතීතයේ සිටම අපිට තිබුණේ, කිරි කෑමේ සංස්කෘතියක් මිස, කිරි බීමේ සංස්කෘතියක් නොවේ. කිරි කියා අද ද අප උතුරුවන්නේ පොල් කිරි මිස එළකිරි නොවේ. පොල් කිරි අපේ රස මවන මන්තරේය. ඒ මිස, එළකිරි දමා අපි හොදි හැදුවේ නැත. අප බිව්වේ මවු කිරි පමණය. ලොකු වුණාම කිරි බොන්නේ සහ අනුන්ගේ කිරි බොන්නේ මිනිසා පමණය. මේ නිසාදෝ අපි එළකිරි වැඩේට අත තිබ්බේම නැත. අද කිරි යනු අපිට ණයට බොන දෙයකි. මේ උගුලෙන් නම් ගැලවිය යුතුමය.
එකක් ඉන්දියාවේ මෙන් කිරි නිෂ්පාදනය විධිමත් කරගෙන, කිරෙන් ස්වයංපෝෂිත විය යුතුය. අපේ මුතුන් මිත්තන්ගේ ක්‍රමවේදය අනුව අපිට ලෝකයට අලුත් දෙයක් දිය හැකිය. ඒ මීකිරිය. මීකිරි අමුතුම කෑමකි. හැම කෑමකම දොස් දකින ‘වන්නකු මෙතඩ්’ එකේ පවා ඇති වෙන්න කන්න කියන්නේ මීකිරිය. එවැනි පෝෂණවේදීන් ද මීකිරි ආහාරයට ගැනීම සඳහා සීමාවක් පනවා නැත්තේ, එතරම් ගුණයක් ඒ ආහාරයේ ඇති නිසාය. අප සිද්ධියට ඇතුළුවිය යුත්තේ මීකිරෙන් බවට අදහස පළ කරමින්, ලෝක කිරි දිනය ‘එළකිරි’ වේවා කියා දැනට පතමි.
නව අදහස දක්වන්න