ජා-ඇළ පොලිස් ස්ථානාධිපතිවරයාගේ පරිහරණය සඳහා වෙන් කර ඇති ජීප් රථයේ දොරවල්වල සහ බොනට්ටුව සූරා අසභ්‍ය වචන ලියූ ජා-ඇළ පොලිසියේ එවකට පරිපාලන අංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (30) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ස්ථානය තුළ ඇති ගරාජයේ නතර කර තිබුණු WP CBM 1783 අංකය දරන මෙම ජීප් රථයේ අසභ්‍ය වචන ලියා තිබුණේ පසුගිය පෙබරවාරි 27 වැනිදා අලුයම් කාලයේදීය.
පොලිස් කොස්තාපල් රියැදුරු බණ්ඩාර (92007) යන නිලධාරියා විසින් එදින උදෑසන රථය සෝදා පිරිසුදු කිරීමට සූදානම් වන අවස්ථාවේදී එහි අසභ්‍ය වචන ලියා ඇති බව දැක පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුම්වත් කර තිබිණි.
ඉතා පහත් වචන රැසක් ජීප් රථය සූරමින් සටහන් කර තිබී ඇත. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරමින් ඇඟිලි සලකුණු කාර්යාංශයේ නිලධාරීන් ගෙන්වා ජීප් රථයේ බඳ ප්‍රදේශයේ ඇඟිලි සලකුණු පරීක්ෂාවක් ද කර ඇත. අනතුරුව සැකයට ලක්වන සහ පෙර දින රාත්‍රී රාජකාරියේ නිරත නිලධාරීන් කිහිප දෙනකුගේ ඇඟිලි සලකුණු හා ජීප් රථයේ බඳෙහි සටහන්ව ඇති ඇඟිලි සලකුණු පරීක්ෂාවක් කර තිබේ.
එම ඇඟිලි සලකුණු වාර්තාව මාර්තු 23 වැනිදා පොලිසියට ලැබී තිබිණි. එහිදී පැහැදිලිවම පෙනී ඇත්තේ ජා-ඇළ පොලිසියේ සේවයේ නිරත පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස විජේරත්න යන නිලධාරියාගේ ඇඟිලි සලකුණු සහ ජීප් රථයේ බඳෙහි සටහන්ව ඇති ඇඟිලි සලකුණු හා සැසඳෙන බවය.
මෙම නිලධාරියා දකුණේ පොලිසියක ස්ථානාධිපති ධුරයක්ද දරා ඇති අයෙකි. පරිපාලන දෝෂ ඇතුළු හේතූන් ගණනාවක් මත මෙම නිලධාරියා දකුණෙන් බස්නාහිරට මාරු කර ඇත්තේ ස්ථානාධිපති ධුරය නැතිව සාමාන්‍ය රාජකාරි සඳහාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම නිලධාරියාව අත්අඩංගුවට ගන්නා විට සිට ඇත්තේ සේවය අතහැරගිය නිලධාරියකු ලෙස බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ
නව අදහස දක්වන්න