රොකට්ටුවට තෙල් මදිනම් දමන්න’ සේ මේ රටේ ප්‍රශ්න අතරට බඩ තඩි මී වස්සෙක් ද කාලයක සිට පහත් වී තිබුණි. ආගමික සංහිඳියාව සඳහා බාධා කිරීම හේතුවෙන්, පෙරේදා රිමාන්ඩ් ගත වූයේ ඔහුය. මේ මහණකමට වඩා ගාමන්ට් ළඳුන්ගේ ‘මහනකම’ උතුම්ය. රාජාංගණයේ යැයි සඳහන් නමක් හිමි, මී වස්සෙක් බඳු ඇඟක් හිමි සහ මෙලෝ මොළයක් අහිමි, මේ සංඥා මාත්‍රය, සයිබර් අවකාශයේ වහසි බස් දොඩවන්නෙකි.
ඔය වැනි ‘දුසිමක් දෙකක්’ දැන් කාලයක සිට මේ රටේ ඩේටා වෙළඳාම සඳහා සේවය කරමින් සිටියි. අපේ මිනිස්සු ද මෙවැනි ‘ලෙඩෙක්’ මොකක් හෝ හරුපාවලියක් දැමූ කල්හි, ඒවා ජොලියට වාගේ බලන්නේය. අන්තර්ජාල යුගයේ වුවද මේ ගන්නේ කාලයක් තිස්සෙම අපේ සමාජයේ තිබූ ජොලියකි. ගමේ සිටින අඩියක් ගැහුවාම තද වෙන එකා බලා, ඔහු පාරේ යන වෙලාවට, පැත්තක සිට හූ කියන කොල්ලෝ සිටියහ. ඒ සංඥාව ලැබුණු වහා අර බේබද්දා හතර වටේටම කුණුහරුප දෙසා බාන්නේය. මේවා අහගෙන සිටින කඩමණ්ඩියේ අනෙක් එකාලාද අයිපීඑල් ෆයිනල් එකේ ලාස්ට් ඕවරයේ, අන්තිම පන්දු දෙකේ ලත් ආශ්වාදයම විඳින්නේය. ස්ටේෂම අයිනෙන් යනකොට, කෝච්චිය ‘හූ’ කීවද පදමට අඩිය ගසා සිටියේ නම්, අර යකා ‘පරුෂා වාචා’ වස්සන්නේය.
නොබී ද මේ ජාතියේ චූන් දෙන උන්, ඒ කාලයේ සිටියේය. කිහිල්ලට හෝ ඇඟට කවුරුන් හෝ ඇඟිල්ලෙන් ඇන්න සැණින් අර මිනිහා තැන නොතැන නොබලා, හරුප මුදා හරින්නේය. මේ කාලයේ හිඟ වුවත් ඒ කාලයේ හැම ගමකම හැම කාර්යාලයකම මේ ජාතියේ ‘කිචියෙක්’ සිටියේය.
මේවාට කියන්නේ ‘අවුස්සා සැප ගන්නවා’ කියාය. ඒ ‘අවුට් පුට්’ එක වෙච්ච කුණුහරුප අසා, අපි ‘සැපක්’ ගනිමු. එහෙම සැපයක් අර ‘මහත දෙහිත කඳ’තමන්ගේ වීඩියෝ මඟින් සමාජයට දුන්නේය. ඒවායේ හොඳ නරක බලනවා වෙනුවට, කුණුහරුප ඇසීම සඳහා චිරාත් කාලයක් තිස්සේ අපේ තිබූ ආසාව සංසිඳවා ගැනීමට මෙය අනගි අවස්ථාවක් විය. ‘හේයි’ ගා ආරම්භ වෙන මේකාගේ කුණු කතා ගොන්නට, අපි කවුරුවත් සවන් නොදුන්නේ නම් ඒවා ගෙදරක තනියෙන් කියවන කතා බවට පමණක් පත්වන්නට ඉඩ තිබුණි. එහෙම වුණේ නැත. රාජාංගණයේ ගෝල්ෆේස් අරගලයේ ද ක්‍රියාකාරී ජවනිකාවක් ඉසිලුවේය.
මේ රටේ කාලයෙන් කාලයට විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේලා බිහි වෙති. කලක් පාණදුරේ අරියධම්ම හිමියෝ පවත්වන ලද බෝධි පූජාව වටා ජනතාව එක් වූහ. පෙරේදා දිනයේ ජන්ම සංවත්සරය යෙදී තිබුණු මාදුළුවාවේ සෝභිත හිමිගේ ධර්ම දේශනා ඇසීම සඳහා ද පිරිස් වැල නොකැඩී පැමිණියහ. ගංගොඩවිල සෝම හිමියෝ නැණ පහනින් පටන්ගෙන පවත්වන ලද ධර්ම දේශනා වටා රටේ ජනතාව රොක් වූහ. ඒ පරිදිම ‘රාජාංගණයේ’ කුණු කතා වටා ද අන්තර්ජාලයේ පිරිස් ‘රොක්’ වූහ. ඒ නිසා රාජාංගණයේගේ කුණු කතා, පුරුද්දක් ලෙස ඇසූ ඈයෝ ද මේ අපරාධයේ පංගුකාරයෝය. මාර්කට් එකක් නැති නම් ඒ භාණ්ඩය යළි යළිත් නිපදවන්නේ නැත. තම කුණුහරුප සඳහා අනම්‍ය ඉල්ලුමක් ඇතිවෙන බව දුටු රාජාංගණයේ තව තව කතා පැවැත්වීමට පටන් ගත්තේය. එවන් කුණුහරුපකාරයෝ, පාරේ සිටීම ලොකු ප්‍රශ්නයක් නොවේ. ඒකා මගහැර අපට ගමන යා හැකිය. අංගොඩ මානසික විද්‍යායතනයේ එහෙම පිරිස් සිටිති. විදත් කම්පන ප්‍රතිකාර සහ බොන බෙහෙත් ලබාදෙමින්, එවැනි රෝගීන් සඳහා වෛද්‍යවරු ප්‍රතිකාර ලබා දෙති. ඒ වුණාට රාජාංගණයේලා රටේ දේශපාලනය සඳහා මැදිහත් වෙති. කාලීන මාතෘකා පිළිබඳව කයිවාරු ගසති.
බුදු දහමට නිග්‍රහ කළ ගල්කිස්සේ කාන්තාව සේම, වේදිකාවේ යට ඇඳුමෙන් පෙනී සිටීමේ ආශාව සහිත පිරිස් මේ සමාජයේ තැනින් තැන අමුතු වැඩ කරමින් සිටිති. ඒවා මෝඩාභිනන්දනයක් යැයි පසෙක තබා මේ සමාජයට ගමන යා නොහැකිය.
මේ සියලු දෙනාගේ පැවැත්ම සහතික කර ඇත්තේ, අන්තර්ජාලය ය. යූටියුබ් හෝ ෆේස් බුක් වැනි මාධ්‍යය. ඒවා යොදා ගෙන ඔවුහු තම අසනීපය, සමාජයටම බෝ කරමින් තිබේ. වාරණ රහිතව ගලා යෑමට මේ පිරිසට ඉඩ ලබානොදීම රජයේ පළමු වගකීමය. එහෙම එකෙක් දෙන්නෙක්, ඉඳහිට නීතිය ඉදිරියට පමුණුවා, පමණක් මෙසේ උමතු වූවන්ගේ කතා සමාජයේ පැතිරී යෑම වැළැක්විය නොහැකිය. පිටරට සිට අප්ලෝඩ් කරන යූටියුබ් නාලිකා, වෙබ් අඩවි ආදිය සඳහා ස්ථිරසාර විසඳුමක් අප තනා ගත යුතුය. ලැබුණු පළමු අවස්ථාවේදීම ඒවා වාරණය කර, සම්බන්ධ සියලු දෙනා, දින ගණනාවක් අත්අඩංගුවේ තබාගෙන දඬුවම් කළ යුතුය. ඒ සඳහා දැඩි නීති රීති අලුතෙන් වහ වහා නිමවා, සම්මත කර ගත යුතුය.
අනෙක් අතට මේවා සම්බුද්ධ ශාසනය සඳහා සිදු කරන හානි වේ. රාජාංගණයේ කුමන නිකායට අයත් ද, ගුරුවරයා කවුදැයි සොයා, ඔය වැනි මහණුන්ගේ සිවුර වහාම ගලවා දැමිය යුතුය. ඒ සඳහා නායක සංඝයා වහන්සේලාට වැඩි වෙලාවක් යන්නේ නැත. එහෙම සිවුරු හළ පුද්ගලයාගේ නම ගම ආදිය අදාළ නිකාය මඟින් ප්‍රසිද්ධ කළ යුතුය. මේ රටේ මහණකම රැක ගැනීම සඳහා නායක හිමිවරු එහෙම තැනකට නොයෑම තුළ රාජාංගණයේ වැනි උමතු වූවෝ, අයිතිකාරයෝ නැති බල්ලන් සේ දඩාවතේම ඇවිදිනු ඇත.
නව අදහස දක්වන්න