විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමේ දී සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීමේ දී ජුනි මස 01 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ දී පසුගියදා අනාවරණය විය.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ අන්තර්ජාලය ඔස්සේ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව ද නිලධාරීහු පෙන්වා දුන්හ.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැති අතර ඒ සඳහා සහභාගී වූ නිලධාරීහු මේ බව සඳහන් කළහ. විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රියාත්මක කිරීම පිළිබඳ ද කමිටුව මෙහි දී සාකච්ඡා කළේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසද කාරක සභාවේ සභාපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේය. අන්තර්ජාලය ඔස්සේ වීසා අයදුම් කිරීමේ දී දක්නට ලැබෙන අඩුපාඩු ඇතුළු විවිධ කරුණු පිළිබඳ ද මෙහි දී සාකච්ඡා කෙරිණි. ඒ සඳහා විදේශිකයන්ට අපහසුවකින් තොරව සිය වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය යන්ත්‍රණයක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසත්, දේශීය මෙන්ම විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කාරක සභාවේ සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ඉහළ ආදායම් ලබන යුරෝපය වැනි රටවලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමේ වැදගත්කම පිළිබඳ මෙහි දී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ අතර ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ද කාරක සභාවේ සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මෙම රැස්වීමට කාරක සභාවේ සාමාජිකයන් වන නිරෝෂන් පෙරේරා, එස්. එම්. එම්. මුෂාරෆ්, සාගර කාරියවසම්, යදාමිණි ගුණවර්ධන, (ආචාර්ය) හරිනි අමරසූරිය යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කාරක සභාවේ සභාපතිවරයාගේ අවසරය පරිදි මෙම රැස්වීමට සහභාගී විය.
මෙම රැස්වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ගුවන්තොටුපල සහ ගුවන්සේවා (පුද්ගලික) සමාගම යන ආයතනවල නිලධාරීන් සහභාගී විය.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර
නව අදහස දක්වන්න