ගහේ අත්ත බර වුණා - ඩෝන් ගාලා පෙරළුණා | දිනමිණ

ගහේ අත්ත බර වුණා - ඩෝන් ගාලා පෙරළුණා

විව්ස් වැඩි කර ගැනීම සඳහා කටට එන දේ සහ හිට් වෙන දේ කීමට ගොස් ගල්කිස්ස පැත්තේ පදිංචි තැනැත්තියකට වූ වින්නැහිය අද මේ තීරුවේ පූරක කාර්යය ඉටු කරනු ලබයි. ඇය අසංවර සහ වාචාල අයුරින් දැන් කාලයක පටන් ‘හිට්’ වෙන යූටියුබ් වැඩසටහනක් කරගෙන ගියාය. නාන තොටේදී කට හැකර ගැහැනු දොඩවන පරිද්දෙන්, ඕ ද කුණු කතා කියා, වීර චරිතයට ඇන්දාය. මේ ජාතියේ කතා කියන අයට සමාජය නියම ගේමක් දෙන්නේය. “ෂා ඔයාගේ කතා නියමයි නේ... අපි නම් හැමදාම බලනවා. දිගටම ඔහොම කරගෙන යන්න.” ආදී ලෙස මුහුණට හමුවෙන වෙලාවට කියන්නේය. මේවා කියන්නේ වැඩේ හොඳ නිසා නොව, අත්තේ නග්ගන්නටය. එහෙම වුණහම, මේ ජාතියේ අය තව තවත් ‘අත්තේ කෙළවරට’ එන්නේය. අන්තිමට ‘ගහේ අත්ත බර වුණා - ඩෝන් ගාලා පෙරළුණා’ වෙන කොට ඒ හොඳ කියූ සියලු දෙනා, පැත්ත පළාතක නැත. මේ රටේ මිනිස්සු මුහුණට කියන්නේ එක දෙයකි. යන්නට හැර කියන්නේ, ඊට විරුද්ධ දේය. තමන් ඉදිරිපිට සිටින කෙනා කියනා දේ අසා වැඩ කරන්නට ගියහොත් ඒ අයට දෙවියන්ගේ පිහිටය.

බාලිකා විද්‍යාලයක වැඩසටහනකදී, මේ කාන්තාව බුද්ධාගමට සහ ලංකාවේ බෞද්ධ බාලිකා විද්‍යාල සඳහා පහර දුන්නාය. එතැන සිටි සියලු දෙනාම ඒ සඳහා සිනාසී ‘ඔර්ඩියන්ස්’ සපෝර්ට් එකද දුන්හ. ඒ කවුරුවත් මාංචු වැටුණු කළ බලන්නට එන්නේ නැත. එතැනදී වෙන්නේ, මහගම සේකරයන් කියූ දෙයය. ‘ඔබ සිනාසෙන විට මුළු ලෝකයම ඔබ සමඟ සිනාසෙයි. ඔබ හඬන විට, මුළු ලෝකයම ඔබ අතැර සිනාසෙයි’ යන්නය.

දැන් කාලයක පටන් බුදු දහමට අපහාස කර ‘වීරයන් වීමේ වුවමනාව’ රෝගයක් සේ පැතිර යමින් තිබේ. එහෙම අපහාස කළ රැවුල්කාර ‘වීරයෙක්’ අධිකරණයේදී සමාව ගත්තේ ගාථා ද කියමිනි. තව එකෙක් දැන් ‘ජාතිය අමතන්නේ’ සිංගප්පූරුවේ සිටය. දළදා මාළිගාවට අපහාස කළ කිහිප දෙනෙකු දැන් සිටින්නේ නීතිය ඉදිරියේය.

වුවමනාවට වඩා නිදහස ලබාදුන් විට සිරස් අතට සිටිනා මිනිසා, තිරස් අතට සිටිනා, සත්තු බවට පත්වන්නේය. මිනිසා සෑමවිටම කෙළින් සිටින්නේ නීතිය සහ සාරධර්ම නිසාය. හැම කාලයකම වගේ මේ සාරධර්ම ප්‍රශ්න කරමින් ඒ රාමුව බිඳගෙන එන ලෙස කියන පිරිස්, සමාජයෙන් මතුවන්නේය. එසේ කියන්නේ එක්කෝ මාක්ස්වාදීන්ය. ධනවාදය අර්බුදය නිර්මාණය කර, ඉන්පසු කොමියුනිස්ට් සමාජයක් බිහිවෙන බව ‘තියරිය’ අනුව දිගටම මාක්ස්වාදීන් කිය කියා ගියත්, එන්න එන්නම ධනවාදය තර වෙන්නේය. මාක්ස්වාදය සංශෝධනය වන්නේය. වෙන එකක් තබා ‘සකල දේශවාසී කම්කරුවනි, එක්වව්’ කියා පටන් ගන්නා රතු පොත් කියවන පිරිස, එක දිගට පැය හතළිස් අටක් වැඩ කළහොත්, පහසුවෙන්ම දෙකට තුනට කැඩී යන්නේය. ලෝකයේ විශාලම ට්‍රොස්කිවාදී පක්ෂය ලෙස කලක් තිබූ සමසමාජය අද වන විට දිරා ගොස් ඇති ප්‍රමාණය අනුව, පරිහානියට පත්ව ඇත්තේ ධනවාදය ද මාක්ස්වාදය දැයි මැන බැලිය හැකිය. එහෙම තිබියදී, සකල මාක්ස්වාදීන්ම බුද්ධාගමට පහර ගසන්නේය. සමහර විට ලෝකයාට පෙනෙන්නට, පලතුරු වට්ටි රැගෙන මල්වතු - අස්ගිරි උභය මහා විහාර සඳහා ගාටනවා විය හැකිය. ඒ වුණාට මේ රතු මල්ලිලාගේ ලොකු අයියලා සිටින රටවල, ආගමට ලබාදී ඇති තැන බලන විට. මේවා සංදර්ශන මිස සැබෑ හැඟීම නොවේ. ඒවා ද ඡන්දය ගැනීම සඳහා සිදු කරන ප්‍රෝඩාවන්ය.

බුද්ධාගම සඳහා පහර ගැසීම ‘පොරක්’ වීමට හොඳ පිටියක් වූ කාලයක් තිබුණි. එකෙක් බුදුන්ගේ රස්තියාදුව ලියුවේය. තවඩින්ගෙන් ඒ යෝධයා සල්මන් රුෂ්ඩි ද පසු කරන්නේය. ලෝකයේ හැමතැනම මේ ජාතියේ අසනීපකාරයෝ සිටින්නෝය. තස්ලිමා නස්රින් ලජ්ජා නම් පොතක් ලියූ කල්හි, ඉස්ලාම් දැඩි මතධාරීන් සලිතව, ඒ හිසට ලංසු තැබූහ. බරසාර හෝ සාහිත්‍යයේ කැපී පෙනෙන ලක්ෂණ ඒ ග්‍රන්ථය නොපෙන්වූ නමුදු, තස්ලිමා නස්රින් නම, ලෝකය පුරා ප්‍රසිද්ධ විය. මේ ගැන්සියේ පුරෝගාමියා සලමන් රුෂ්ඩිය. ඔහුගේ සැටනික් වර්සස් ග්‍රන්ථය බටහිර ලෝකයේ ජනප්‍රිය විය. ඊට වඩා හොඳ යෙදුම වන්නේ ‘ජනප්‍රිය කළා’ යන්නය. මේ ජාතියේ බඩු දෙක තුනක් අල්ලාගෙන, උඩ දැමීම බටහිර එක් උපායකි. ඒ ඒ රටවල සංස්කෘතීන් සඳහා, ඒ සංස්කෘතියේ උපන් දරුවන් ලවාම පහර ගස්වන්නේ දේශපාලන උපායක් ලෙසය.

ඒ ජාතිය සඳහා ළඟාවීමට උත්සාහ දරන ලද ‘ගල්කිස්සේ කාන්තාව’ දැන් බුදු අම්මෝ කියමින්, ජාතියෙන් සමාව ඉල්ලා සිටිය ද ගිය වචන පෙරුම්කායම් බැඳ හෝ ඇද්දවිය නොහැකිය.

මේ ජාතියේ ලෙඩ්ඩුන්ට හොඳට පණ ආවේ අරගලයෙනි. අරගලය සඳහා සමහරු පැමිණියේම, බුද්ධාගමෙන් සහ සිංහල ජාතියෙන් පළි ගැනීමටය. වෙසක් කූඩු කළු පාටෙන් සැරසුවේය. පොල්තෙල් ගණන් නිසා, පහන් පත්තු නොකළාට බුදු හාමුදුරුවෝ තරහ වෙන්නේ නැති බව කීහ. බුදු පිළිම පොළොවේ ගැහැව්වාට එහෙම අයට අපි අවුලක් කරන්නේ නැති බව මාධ්‍ය ඉදිරිපිට කීවෝය. ලයිට් නිවා වැඩේ දුන්නාට පසු, ඒ කයිකාරයෝ දැන් ‘ගහවටේත් නැත’.

එහෙම වුණත් මේ ජාතියේ එකෙක් දෙන්නෙක්, තාම රඟන්නේය. ඒ සියල්ලට විසඳුම රැඟූ සැණින් නීතිය ක්‍රියාත්මක කිරීමය. අර රැවුලා දැන් සද්ද නැත. ජෙරොම් පාස්ටර් රටෙත් නැත. මේ කත ද රටින් පනින්නට ගොස් විලංගු දාගෙන ඇත. මෙහෙම වැලට පත්තු කළහොත්, ඔය ලෙඩේ සනීප කරගත හැකි වනු ඇත.

නව අදහස දක්වන්න