රාලේ බැඳපන් කිරිපුස්සා | දිනමිණ

රාලේ බැඳපන් කිරිපුස්සා

හැත්තෑ හය වසරේ අන්තිම දිනයේ ලුම්බිණි රඟහලේ සෙක්කුව ප්‍රදර්ශනය විය. මේ කියන කාලයේ ගම් ගෙවල්හි පමණක් නොව, නගරයට කිට්ටුව පාත ද පොල් ඉඩම් කෑල්ලක් ඇති ගේක සෙක්කුව තිබුණි. ඊට වසර දහයකට පමණ පසු ඇන්ටික් කඩවල දෙපස, සෙක්කු තිබුණේය. ඒවා හරියටම කඩේට ඇතුල් වෙන පිරිස පිළිගන්නා මුරගල් වැනි විය. සෙක්කුව එසේ කැන්සල් වී යන්නේ හරකා බාන ගැටගහගෙන, පොල්තෙල් ගන්නවාට වඩා පහසුවෙන් කඩේට ගොස් පොල්තෙල් කාලක්, බාගයක් ගැනීමට හැකි වීම නිසාය. ගෙදර යැපීම සඳහා අවශ්‍ය වැඩි කොටස, අවටින් සොයා ගැනීම මේ කාලය වන විට අහෝසි වී යමින් තිබුණි. සෙක්කුවක් වටා කරකැවෙන දේශයක් ලෙස බලය යන කාරණයේදී අප පත්ව තිබීමත්, සෙක්කුව යන්න ‘ඇන්ටික් බඩුවක්’ වීගෙන ඒමත් සමඟ, පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව ජනතා කතාබහට ලක් විය. හේ එවකට තරුණ නාට්‍යකරුවෙක් වූයේය. නාට්‍යකාරයෙක් වීමට හිතෙන්නේ කීයෙන් කී දෙනාට ද...? එහෙම හිතුණු පළියට හොඳ ප්ලොට් එකක් අරගෙන මංගල නාට්‍යයම රටේ නම හිටින්න අධ්‍යක්ෂණය කළ හැක්කේ එයිනුත් කී දෙනාට ද...?

නිරිඇල්ලගේ සෙක්කුව සඳහා කතාව ලැබෙනුයේ එස්. ජී. පුංචිහේවා ලියූ අහේතුවට හේතුව නම් කෙටිකතා සංග්‍රහයේ එන සෙක්කුව නම් කෙටිකතාවෙනි. සෙක්කුව නිපදවීමට ප්‍රථම පරාක්‍රම විදී නාට්‍ය කණ්ඩායම් සාමාජිකයකු විය. වීදි නාට්‍යය කෙරෙහිම ආසක්ත වූ හත්තොටුවේගම සම්මත ප්‍රොසිනියම් ආකෘතිය හෙවත් ආරුක්කු නාට්‍යය ආකෘතිය අත්හැර දැම්මේය. පරාක්‍රම වීදියේ සිට සෙක්කුව ගෙන ‘ආරුක්කුවට’ නැග්ගේය. ඒ නිසා සෙක්කුව, වේදිකාව සහ මහ පොළොව යන දෙකේම පෙන්විය හැකි ‘හයිබ්‍රිඩ්’ නාට්‍යයක් විය.

අද පරපුරට මෙවැනි කතා රුස්සන්නේ නැත. කී බෝඩ් එකෙන් තොර කලාවක් හෝ විද්‍යාවක්, කොටින්ම ජීවිතයක් ද මේ දරුවන්ට නැත. එහෙව් පරපුරකට සෙක්කුව දැනෙන්නේ මාෂ්අප් කළ යුතු ඕල්ඩ් වර්ෂන් එකක් ලෙස විය හැකිය.

පරසක්වළ අපේ මහ රජ්ජුරුවෝ තෑගි කළයි කිරිපුස්සා සරුබිම හොයලා කම්මැළි වීලා පැන්නූවයි කිරි පුස්සා

ගීතය ඇසුවහොත්, ඒ සඳහා රැප් එකක් දමා උම්බෑ වැනි හඬක් විටින් විටෙ දමා, විව්ස් ලක්ෂය පන්නන ගීතයක් ඔය පරපුර ගොඩනඟනවා ඇත. මේ එහෙම කාලයකි. යූටියුබ්, ට්‍රෙන්ඩින් නැත්නම් ඒ කලාව, හකුළුවා දමනවා මිස, වැඩකට ඇත්තේ නැත. ඒවා‘කාලය මැවු වෙනසක අරුමේ’ කියා අප යළිත් සෙක්කුව වටා කැරකීමට පටන් ගමු.

පරාක්‍රම ජනතාලය ද අත්හැරියේ නැත. ශෛලිගත නාට්‍ය රටාව ද අමතක කළේ නැත, තාත්වික නාට්‍ය ප්‍රවණතාව ද සෙක්කුවේ විය. මේ සියල්ල එකට කැටි කරනවා කියන්නේ ‘සෙල්ලම් නැත’; නිර්මාණයකට එහෙම සෙල්ලමක්. ඒ කාලයේ වේදිකාවට, තරුණයකු ගෙන ආ කල, සියලුදෙනා ඒ කෙරෙහි අවධානය දක්වන්නට විය. මේ නිසා සිංහල රඟ මඬලේ, සෙක්කුව ගැලවිය නොහැකි ලෙස සවි විය. වසර හතළිස් හතකට පසු, සෙක්කුව යළි නිෂ්පාදනය වන්නේ ඒ සවිවීම නිසාය.

මේ දවස්වල වේදිකාව ‘ජය ගැනීමට’ නම්, මාර වැඩ කළ හැකිය. ඩබල් මීනින් වැඩි, ඇඳුම් අඩු, ආණ්ඩු පට්ට ගසනා, සිංහල ජාතියට සහ බුද්ධාගමට වැඩේ දෙන, යමක් කළේ නම්, මිනිස්සු අඩු වුණද, වැඩේ ගොඩය. ඒවාට සම්මාන අඩු නැත. එන්.ජී.ඕ. ආධාර හිඟ නැත. ලෝක සම්භාවනාවට පත් වන්නේය. ජාත්‍යන්තර උලෙළ නියෝජනය කළ හැකි.‘වැඩිදුර හැදෑරීම සඳහා’ යුරෝපයට පැන ගත හැකිය.

මේ රටේ කලාවට ලැබෙන ජාත්‍යන්තර සම්මාන, නියෝජනය, ආදිය බලන විට, මේ රටේ මිනිස්සු කොණ්ඩේ පීරන්නේ ද කණ්ණාඩිය දෙස බලා නොව, යම් නිර්මාණයක් රසවිඳින අතරේ බව යමෙකුට සිතිය හැකිය.

ජීවිතේට හරිහමන් නිර්මාණයක් කර නැති, ඇහුවාම ටිකක් විතර පුරුදු නමක් ඇති පිරිසක්, ජාත්‍යන්තරය දිනාගෙන ඇති බවට හැමදාම වගේ, පත්තරවල පොඩියට යන්නේය. එහෙත් එහෙම එකක් අප දැක නැත. ඒ ‘මහතා’ ද අප දන්නේ නැත. සමහර විට වරද අපේ විය හැකිය. ලැබෙන කෑම රසයි කියනා දිවක් හිමි නම්, හැම කෝකියාම වැඩකාරයෙකි. එහෙම දිවක් නැත්තේ මුත්, මේ වැඩ ගැන ඉවක් රටේ මිනිස්සුන්ට තිබේ.

කොහොමින් හෝ යළි සෙක්කුව නව නිෂ්පාදනයක් ලෙස වේදිකාවට ඇවිත් තිබේ. ඒ සඳහා අදහස පැමිණි කෙනාගේ සිට, වේදිකාවට ගෙනා පිරිස දක්වා සියල්ලන්ටම නාට්‍ය නැරඹීමට පෙරම, පුටුවෙන් නැඟිට අත්පොළොසන් ලබා දිය යුතුය.

රසාලිප්ත සමාජයක් ගොඩනැංවිය හැක්කේ ඔය වැනි ව්‍යායාමයන්ගෙනි. අපි ළඟ ළඟ, කරදර ගොඩකට පැටලී ඇත්තෙමු. එක්කෝ ණය ප්‍රශ්න තිබේ. නැතිනම් දේශපාලන කලබල ඇත. පෝලිම් ආදී ප්‍රශ්න. කොවිඩ් නිසා වැසුණු රට. මේ අතරේ කලාවක් කරන්නට ජාතියට වෙලාවක් තිබුණේම නැත. සුනිල් ආරියරත්නයන්, සයිමන් නවගත්තේගමගේ නවකතාව, කැමරාවට ගෙන ක්ෂීර සාගරය කැලඹිණ සිනමාවට නඟා තිබේ.

නිරිඇල්ලගේ සෙක්කුව ද දැන් වේදිකාවේ ඇත. මේ නිසා අපට යළි ගමන ආරම්භ කළ හැකිය. කලාවට මොකද වෙන්නේ යැයි අහ අහා යන්නේ නැතිව, මේ කරපු වැඩවලට කටින් කට හරි ප්‍රචාරයක් ලබා දෙන්නේ නම්, කලාවට යමක් කළ හැකිය. සාමූහික රසවින්දනය සපුරා බැහැර යා නොදී රැක ගත හැකිය. සිනමා ශාලාවක අරුමය නෙට් ෆීලික්ස් තිරයට වඩා පුළුල් බවට පසක් කර ගත හැකිය. පණ ගැහෙන වේදිකාව සමඟ, යළි ජීවත් විය හැකිය. ‘සෙක්කුව’ උපන්නේ ‘අහේතුවට හේතුවෙනි’. මේ අහේතුවට හේතු සොයා ‘සෙක්කුව’ ඊට පිළියමක් වීමට සැරසෙයි. ඊට පිළිමලුන් නොවී, සෙක්කුව වටා කරකැවී අලුත් ‘තෙලක්’ නිපදව ගත්තොත් හොඳ බව අපේ අදහසය.

නව අදහස දක්වන්න