වැඩිහිටි වගකීම හරියට කළොත් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා | දිනමිණ

වැඩිහිටි වගකීම හරියට කළොත් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙනවා

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ

  • ළමා මනස හදන්න මාධ්‍යයටත් වගකීමක් තිබෙනවා
  • කාර්යබහුල වුවත් දරුවන් අත්නොහරින්න
  • සමාජ මාධ්‍ය පරිහරණය පරිස්සමෙන්

වර්තමානයේ සමාජය තුළ දැඩි ලෙස පැතිර යන ළමා අපචාර සහ දූෂණ සඳහා වූ හේතු මොනවාද? ඒ සඳහා විසඳුම් මොනවාද? ළමා ආරක්ෂක අධිකාරියේ මැදහත්වීම කෙසේද? යන්න පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදයකුමාර අමරසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

l ළමුන් හිංසනයට පත්වීම සහ අපයෝජනයට පත්වීම පිළිබඳව මේ දිනවල විශාල සමාජ අවධානයකට ලක්ව තිබෙනවා. මෙවැනි තත්ත්වයකට හේතු විදිහට ඔබ දකින්නේ කුමක්ද.?

මේ තත්ත්වයට විවිධ හේතු බලපාන්න පුළුවන්. එහෙත් අද මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් රට පුරා දැක ගැනීමට පුළුවන්කම තිබෙනවා. මෙහෙම දේවල් වෙන්නේ ඇයි? එවැනි දේවල් වළක්වා ගන්නේ කොහොමද? මෙවැනි තත්ත්වයන්ට හේතුවන මූලික කරුණු මොනවාද? කියන දේ සොයා බැලිය යුතුයි. එසේ සොයා බලා අඩුපාඩු සොයා අවශ්‍ය විසඳුම් ඇති කර ගන්න ඕනෑ. අපට ප්‍රධාන වශයෙන් නිරීක්ෂණය වන දේ විදිහට සඳහන් කරන්න පුළුවන් මූලික තත්ත්වයක් විදිහට පෙන්වා දීමට පුළුවන්කම තිබෙන එක් දෙයක් තිබෙනවා එනම්, බොහෝ අවස්ථාවල දරුවන්ට සිදුවන අපචාර සහ ළමුන්ට නොගැළපෙන සේවාවලට යොදා ගැනීම වැනි දේ සිදු වන්නේ දරුවන්ගේ සමීපතමයන් අතින්මයි. නිවෙසට එන යන අය නැතිනම් ඒ විදිහේ ළඟ සම්බන්ධතා පවත්වන පිරිස් තමයි දරුවන් වැරැදි මාර්ගවලට යොමු කරනු ලබන්නේ. ලිංගික හිංසන පමණක් නොවෙයි පහර දීම් වෙනත් හිංසා කිරීම් සිදු වෙනවා. මේ හැම දෙයක්ම ළමුන්ගේ සුරක්ෂිතභාවයට විශාල ලෙස බාධා පමුණුවනවා. ඒ නිසා අප නිතරම මේ ගැන අවධානය යොමු කරන්න ඕනෑ. ඇත්තෙන්ම අපට නීති මඟින් පමණක් මෙවැනි තත්ත්වයක් පාලනය කරන්න පුළුවන් කියලා සිතනවා නම් ඒක අනුවණ සිතුවිල්ලක් පමණයි. ඒ නිසා වැඩිහිටියන් විදිහට වගකීම් දරන්නන් විදිහට අපට ලොකු වගකීමක් පැවරී තිබෙනවා. අප ඒ වගකීම් නිසි ලෙස තේරුම් ගෙන වැඩ කළ යුතුයි.

අප නිතරම අපේ දරුවන් ගැන නිසි ලෙස අවධානයෙන් ඉන්න ඕනෑ. ඔවුන් අනවශ්‍ය ලෙස ඇසුරට ගන්නේ කවුද? ඒ අයගේ අරමුණු, දරුවන් වෙත ලබා දෙන ඇත්ත ආදරයක්ද නැතිනම් ආදරයක් මවා පා දරුවාගෙන් අනවශ්‍ය ප්‍රයෝජනයක් ලබා ගැනීමද කියල සලකා බැලිය යුතුයි. අපට අපේ වගකීම නිසි විදිහට ඉටු කරන්න පුළුවන් නම් අපට ඉතාමත් පහසුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සහතික කරන්න හැකියාව තිබෙනවා. ඒ අනුව කටයුතු කළොත් අපේ දරු පරපුර අනතුරුදායක තැන්වලින් ගලවා ගැනීමට හැකියාව ලැබෙනවා.

l ඔබ කියන්නේ රජය මට්ටමින් මේ ආකාරයේ දේවලට මැදහත් වීමට හැකියාවක් නැති බවද.?

අපි එහෙම කියනවා නොවෙයි. රජයට තියෙන වගකීමට සමාන වගකීමක් මාපියන් දරුවන්ගේ සමීපතමයන්ගේ පැත්තෙනුත් තියෙනවා. නීතියෙන් කළ නොහැකි බොහෝ දේ අපට අවධානය අවබෝධය ආදරයෙන් කරන්න පුළුවන්. එහෙම වුණොත් අපට අපේ සමාජය වගේම රටේ අනාගතය ද වඩාත් හොඳ තැනක් කිරීමට හැකියාව ලැබෙනවා.

l අද සමාජ තත්ත්වය සහ මාධ්‍යවලින් ළමා හිංසනය සහ අපචාර සඳහා නව මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍යවල හැසිරීම බලපානු ලබන බවට ඇතැමුන් චෝදනා එල්ල කරනවා. මේ චෝදනා පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

අද සමහර නව මාධ්‍ය ලිංගික හිංසන වැනි දේත් සමාජයට නුසුදුසු දේත් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරනවා. ඒකට විවිධ හේතු බලපානු ලබනවා. බොහෝ පිරිස් තම මාධ්‍යයේ වීව්ස් වැඩි කරගන්න අලෙවිය වැඩි කරගන්න මේ වගේ නුසුදුසු පහත් දේ ප්‍රවර්ධනය කිරීම කරනවා. ඒ තත්ත්වය නොදියුණු මානසික තත්ත්වයන් තියෙන වැඩිහිටියන් වැරැදියට තේරුම් ගන්නවා විතරක් නොවෙයි දරුවන්ට වුවත් මේ දේවල් වෙත අවධානය යොමු වෙන්න පුළුවන්. ඒ නිසා අප නිතරම මේ ගැන අවධානය යොමු කර කටයුතු කිරීම කළ යුතුයි. එයින් මේ විදිහේ වැරැදි මාර්ග වෙත දරුවන් යොමු වීම වගේම නොදියුණු මානසික තත්ත්වයන් තිබෙන වැඩිහිටියන් ද වැරැදි මාර්ගවලට යොමු වීම සිදු වෙනවා. ඒ නිසා මේ ගැන අවධානය යොමු කිරීම මූලික දෙයක් විදිහට සලකා කටයුතු කිරීම සුදුසුයි.

l මේ තත්ත්වයන් පාලනය කිරීමට නීතිය තදින් ක්‍රියාත්මක කිරීම මඟින් ඇතිවන ළමා අපචාර සහ හිංසන පාලනය කිරීමට හැකියාවක් ඇති කර ගත හැකියි නේද?

ඔව් දැනුත් නීතිය මෙවැනි දේ කෙරෙහි ඉතාමත් තදින් ක්‍රියාත්මක වෙනවා. එවැනි අපරාධයක් කර කිසිවකුට පලා යාමට හෝ සැඟ වී සිටීමට පුළුවන්කමක් නැහැ. වැරැදිකරුවන් හඳුනාගෙන නිසි දඬුවම් කළ අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

එහෙත් අපි මෙතැනදී බැලිය යුතු තව දෙයක් තිබෙනවා. මේ ආකාරයට දඬුවම් කිරීම මඟින් තදින් නීතිය ක්‍රියාත්මක කිරීම මඟින් අගතියට පත්වූ දරුවාට සිදු වන හානිය අගතිය පොඩ්ඩක්වත් නිවැරැදි වෙන්නේ නැහැ. ඇත්තෙන්ම මෙවැනි තත්ත්වයන් ඉතාමත් සංවේදී කරුණු විදිහට පෙන්වා දීමට පුළුවන්. එනිසා නීතියෙන් පමණක් නොවෙයි සදාචාරාත්මකවත් මේ දේ වැරැදියි. එවැනි දේ කරන කණ්ඩායම් සමාජ පිළිකුලට භාජනය වන විදිහේ ක්‍රමයක් ඇති කළ යුතුයි. එහෙම ක‍ළොත් අපට මෙවැනි තත්ත්වයන් සමාජයෙන් දුරස් වන තැනකට පත්වීම අනිවාර්යයෙන්ම සිදු වෙනවා.

l එදා දරුවන් මාපියන්ට ඉතාමත් ළඟින් සිටි පිරිසක්. අද ඇතිව තිබෙන කාර්යබහුලත්වය නිසා ඒ තත්ත්වය වෙනස් වෙලා. ඒ තත්ත්වය දරුවන් කෙරෙහි සිදු වන අපරාධ ඉහළ යාමට බලපා තිබේද?

ඔව්. එදා සවස ගෙදරට එන මාපියන් දරුවන් එකට ඉඳ කෑම කාලා සතුටු කතාබහක යෙදිලා තම තමන්ගේ ගැටලු ගැන දෛනික දේ ගැන අදහස් හුවමාරු කර ගන්නවා. ඒත් අද තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්වයි තිබෙන්නේ. අද දුව එක තැනක. අම්මා එක තැනක. ඒ නිසා පවුලේ සබඳතා ගොඩක් දුරට ගිලිහී යනවා. පසුගිය දා පාසල් සිසුවියක සියදිවි නසා ගැනීමක් කර ගත්තා. එයට හේතු වුණේ ඇය තම නිවෙසේ අයට වඩා පිට මිතුරියක් විශ්වාස කිරීම. ඒක ඇයගේ වරදක් නොවෙයි. ඒ නිසා තමයි මම කියන්නේ පවුලේ සබඳතා වඩාත් ළං වෙනවා නම් දරුවන් වෙත සිදු වන හානි සහ අපහසුතා බොහොමයක් වළක්වා ගැනීමට පුළුවන් කියලා.

ඒ නිසා අප මූලිකවම දරුවන් සමඟ පවුලේ සෙසු අය සමඟ ළංව කටයුතු කළ යුතුයි. එහෙම කටයුතු කිරීම මඟින් අපට හොඳ පවුල් වටපිටාවක් මෙන්ම දරුවන්ට සුරක්ෂිත තැනක් නිර්මාණය කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. එනිසා අප කුමන තරාතිරමක හිටියත් පවුලක් විදිහට එකම කණ්ඩායමක් විදිහට කටයුතු කළ යුතුයි. එවිට ඇතිවන ගොඩක් ගැටලු මඟහැරීම සඳහා මෙය ඉවහල් වන බව ස්ථිරවම කියන්න පුළුවන්. ඇතිවන ගොඩක් ප්‍රශ්න පවුල් සබඳතා තර කර ගැනීම මඟින් මඟහැර යාමට හොඳ හැකියාවක් තිබෙනවා.

l සාම්ප්‍රදායික මාධ්‍ය අතහැරීමත්, සමාජ මාධ්‍ය වෙත දරුවන් මෙන්ම වැඩිහිටියන්ද යොමු වීම තුළ ළමුන් සහ නව යෞවනයන් කෙරෙහි බලපානු ලබන ගැටලු ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවට අදහස් පළ වෙනවා මේ ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

අපේ ජීවිතවල යම් රිද්මයක් තිබුණා. ඒ විදිහටයි ජීවිතය එදා ගත වුණේ. අද වෙද්දි ඒ රිද්මයෙන් නොවෙයි අපේ ජීවිත ගත වෙන්නේ. එය තාක්ෂණය සමඟ සිදු වූ දෙයක්. එහෙත් ඒ දේ නරක දෙයක් විදිහට හඳුන්වා දෙන්න බැහැ. එහෙත් අපි මේ තාක්ෂණය හොඳ විදිහට භාවිත කරනවාද එහි නිසි පල ලබා ගන්නවාද කියන එක සොයා බැලිය යුතුයි. මම කියන්නේ නෑ තාක්ෂණය නරක දෙයක් කියලා. එහෙත් තාක්ෂණය ඇසුරෙහි දරුවා වැඩ කරනකොට මූලික ලෙස වැඩිහිටි නිරීක්ෂණයක් අවශ්‍ය වෙනවා. අද නව මාධ්‍ය කියන්නේ වෙනම ලෝකයක්. ඒ ලෝකයේ මිතුරුකම් ඇති වෙන්නේත් වෙනම විදිහකට. ඉස්සර අපිට මිතුරෙක් ඇති කර ගන්න කාලයක් ගියා. බස් රියේදී පාසලේදී නැතිනම් ක්‍රීඩා පිටියේදී හමුවන මිතුරාව අපි දිගු කලක සිට දන්නවා ඔහුගේ චර්යාවන් මොනවාද කියන එක ගැන අපි දැනුම්වත්. ඒත් අද වට්සැප් සමූහ නැතිනම් මුහුණුපොත ඔස්සේ හමුවන අය ගැන අපට කිසිදු පෙර දැනුම්වත් වීමක් නැහැ. වැඩිහිටියකුට මේ මාධ්‍යවල ගනුදෙනුව කල්පනාකාරීව කළ හැකියි. එහෙත් කුඩා දරුවකුට ඒ දේ කිරීමට තරම් දැනුම්වත්භාවයක්, මුහුකුරා ගිය බවක් නැහැ එවැනි තත්ත්වයන් තුළ දරුවන් විවිධ අපහසුතාවලට ගොදුරු වෙනවා.

අද ගුවන් විදුලියට සවන් දීම, රූපවාහිනි නැරඹීම පමණක් නොවෙයි පුවත්පත් කියැවීම පවා ස්මාර්ට් දුරකතනය මඟින් සිදු වෙන්නේ. ඒක පහසුවක් වුණාට ඒකේ ගැටලුද තිබෙනවා.

එදා හොඳ වැඩසටහන් රස වින්දනය විද්‍යුත් මාධ්‍ය හරහා ලබා ගැනීමට දරුවන්ට හොඳ අවස්ථාවක් තිබුණා. ඒ වගේම පුවත්පත් මඟින් කියවීමටද එයින් ලොකු දැනුම්වත් වීමක්ද ලබා ගන්න පුළුවන්. ඒත් අද අපේ දරුවන්ට ඒ අවස්ථාව අහිමි වී තිබෙනවා. ස්මාර්ට් දුරකතනයෙන් ද විවිධ මාධ්‍ය භාවිත කරමින් යම් දැනුම්වත් වීමක් ලබා ගැනීමට පුළුවන්කම තිබෙනවා. එහෙත් අප මේ දැනුම්වත් භාවය ලබා ගැනීමට දරුවන් නිසි විදිහට මෙහෙයවන්න ඕනෑ.

උදිත ගුණවර්ධන

නව අදහස දක්වන්න