තායිලන්තය පණ ගැන්වූ අලුත් මැෂින් එක | දිනමිණ

තායිලන්තය පණ ගැන්වූ අලුත් මැෂින් එක

කාලානුරූපීව දේශපාලන ක්ෂේත්‍රයන්හි නව පෙරළි සිදුවීම් සුලභ කරුණකි. එය යුරෝපයේද, ආසියාවේද, මැදපෙරදිග කියා වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකි නොවේ. සමස්තයක් ලෙස ගත් කළ සියල්ල පොදුය. මේ මොහොතේ දේශපාලනය අරබයා නැවුම් හැරවුම සිදු වූයේ තායිලන්තයේය. වසර 20ක් පුරා මිලිටරි සහාය ලබන රජයට එරෙහිව තායිලන්ත ජනතාව රජයට ප්‍රබල පණිවිඩයක් ලබා දෙන්නට සමත් වූහ. ඔවුන් පෙළ ගැසුණේ ජනතාවාදී බලවේගයක් ලෙසින් පෙරමුණ ගෙන සිටි Phen Thai පක්ෂය දෙවන තැනට ඇද දමමින් Move Forward පක්ෂය ජයග්‍රහණය කරවීමට සමත්වීමකි.

මේ ආකාරයට තායිලන්ත මැතිවරණයෙන් ජයග්‍රාහී ලකුණු සලකුණු ගත කරන්නට සමත්කම් දැක්වූයේ Move Forward පක්ෂය නියෝජනය කරනු ලැබූ pita Limijaroenrat ය. කවුද මේ pita Limijaroenrat. Pitaගේ උත්පත්තිය සිදු වුණේ 1980 සැප්තැම්බර් 5 දා තායිලන්තයේදීය. නවසීලන්තයේ හැමිල්ටන් වෙත ගොස් අධ්‍යාපනය ලැබීමට පෙර ඔහු වයස අවුරුදු 11 දක්වා බැංකොක්හි ක්‍රිස්තියානි විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය. තම මුදල් ඉපයීමේ කටයුතු වෙනුවෙන් අර්ධකාලීන රැකියා වශයෙන් කිරි බෙදීම හා පුවත්පත් බෙදීම වැනි කටයුතුවල නිරතවූ අතර Pita ඔහුගේ දේශපාලන දැනුම මේ අවධියේදීම වර්ධනය කරගන්නට සමත් වූයේ එරට පාර්ලිමේන්තුවේ වූ විවාදයන් රූපවාහිනිය තුළින් නැරඹීමෙනි.

නවසීලන්තයේ ද්විතීක අධ්‍යාපනය හදාරා අවසන එහි උපාධියක් සමඟ ඔහු නැවත පැමිණියේ තායිලන්තයේ තම්සාක් විශ්වවිද්‍යාලයේ වාණිජ හා ගණකාධිකරණ පීඨයෙන් මූල්‍ය පිළිබඳව උපාධියක් හැදෑරීමටයි. එම උපාධියත් සමඟින් ටෙක්සාස්හි හාවඩ් විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ ගෞරව සහිතව ජාත්‍යන්තර උපාධියක් ලැබුවේ එවැන්නක් ලබාගත් පළමු තායිලන්ත ශිෂ්‍යයා බවට පත් වෙමිනි. මීට අමතරව Pita එම විශ්වවිද්‍යාලයේම ජෝන්.එෆ්.කෙනඩි රජයේ පොදු ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රාස්ත්‍රපති උපාධියක් මෙන්ම මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ශ්‍රාස්ත්‍රපති උපාධියක්ද සම්පූර්ණ කිරීමට සමත් විය.

මේ සියල්ල අවසන තම පියාගේ අභාවයත් සමඟ පවුලේ අය විසින් පවත්වාගෙන යනු ලැබූ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙසින් තායිලන්තයට පැමිණ වැඩ භාරගනු ලැබුවේය.

දේශපාලන ආගමනය

Pitaගේ මුල් දේශපාලන සබැඳියාව පැවතියේ Future Forward පක්ෂයේ ඉදිරි සාමාජිකයකු ලෙසයි. මේ හේතුවෙන් 2019 වසරේදී තායිලන්ත මහ මැතිවරණයට ඉදිරිපත් වීමේ ලේඛනයට ඔහු ඇතුළත් වන්නට විය. ප්‍රායෝගිකව දේශපාලන භූමියට පය ගැසූ නවකයකු වුවත් පක්ෂය වෙනුවෙන් පක්ෂ ලැයිස්තුවේ නියෝජිතයකු ලෙසින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අසුනක් දිනා ගැනීමට සමත්විය.

කෙසේ වුවත් පක්ෂය විසුරුවා හැරීමෙන් පසු Pita Move Forward පක්ෂයේ නව නායකයා ලෙසින් නම්කළ අතර විසුරුවා හරින ලද පක්ෂයේ මන්ත්‍රීවරු 54 දෙනෙක්ද ඒ හා එක්වන්නට විය. 2012 වසරේදී Pita Limijaroenrat විවාහයට පත් වූ මුත් 2019 වසරේ මාර්තු මාසයේ දික්කසාද වූ අතර ඔහුගේ බිරිය ප්‍රසිද්ධියේ චෝදනා කර සිටින්නේ pita විසින් ඇයට අපයෝජනය කළ බවයි. කෙසේ වුවත් මේ සියලු සිදුවීම් හා අලකලංචි මැද Pita 2023 තායිලන්ත මැතිවරණයට ඉදිරිපත් වූයේ වසර 20ක් පුරා පැවති පාලන ක්‍රමයකට එරෙහිවය. මේ හා සමඟම මේ වනවිට තායිලන්ත ජනතාව තම රට වෙනුවෙන් රැඩිකල් ප්‍රතිසංස්කරණයක් ඉල්ලා සිටින විපක්ෂයට පක්ෂව සාධාරණ පිළිතුරු සපයමින් සිටිති. එයින් මනාව ඔප්පුවන කාරණාව වන්නේ මුල් ප්‍රතිඵලවලින් පෙන්නුම් කළ ආකාරයට මැයි 15 වන විට පහළ මන්ත්‍රණ සභාවේ ආසන 500න් 150ක්ම දිනාගෙන ඉදිරියට ගමන් කිරීමයි. ඔහුගේ විරුද්ධ පක්ෂය වූ pheu thai පක්ෂයේ නායකත්වය දරමින් ඔහු හා තරග කරන්නේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණියයි. ඇය 36 හැවිරිදිය. Pita ඉදිරියට පැමිණෙමින් තිබුණද බහුතරයකගේ අදහස වී තිබුණේ ඇය තම පවුල වෙනුවෙන් ජයග්‍රාහී නාමයක් රඳවන්නට සමත් වන බවයි. ඇයගේ පියා වන තක්ෂින් ෂිනවත්‍රා 2001 – 2008 කාලය තුළ බලයේ සිටි අතර ඔහු සතු බලය අවභාවිත කිරීම සහ දූෂණ චෝදනා හේතුවෙන් ඔහුට සිදු වූයේ තායිලන්තය අත්හැරදමා රටින් පැන යාමය. මේ වන විට ඔහු අධිකරණයෙන් වරදකරුවකුව සිටින අතර ඔහුට තම රටට යළි පැමිණීමට නොහැකිය.

නැවත පැමිණීමම යනු සිරභාරයට ලක් වීම හෙයිනි. ෂිනවත්‍රා පවුල යනු අගමැතිවරුන් දෙදෙනෙකුම සිටි ව්‍යාපාරික පවුලකි. මෙවර ෂිනවත්‍රා පවුල වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වන panthongtae Shinawatra ද දරුවන් දෙදෙනකු සිටින ව්‍යාපාරික කාන්තාවකි. ඇයගේ දෙවන දරු ප්‍රසූතිය සිදු වූවේද පසුගිය සතියේ දිනකය. මේ කරුණු මෙසේ වන විට ප්‍රතිඵලයන්හි සඳුදා දින අවසානය දෙස බලන විට පෙනී යන්නේ පාර්ලිමේන්තු ආසන 500න් 151ක් Move Forward පක්ෂයද 138ක් Phen Thai පක්ෂයද දිනා ගැනීමට සමත්ව ඇති බවයි. මේ නිසා ඍජුවම කවර හෝ පක්ෂයකට තම බලය රඳවා ගනිමින් රජයක් පිහිටුවා ගැනීමට නොහැකිය. මේ නිසා මේ පක්ෂ දෙකටම සිදු වන්නේ අන් පක්ෂයන්හි ආධාරයෙන් තම රජය පිහිටුවා ගැනීමටය. ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ pita තායිලන්තයේ අගමැති ලෙසින් බලයට පත්වන බවයි.

තායිලන්තයේ සමාජ මාධ්‍ය

තායිලන්තයේ සමාජ මාධ්‍ය තුළ විශාල රැල්ලක් ලෙසින් පෙනෙන්නට තිබූ කරුණක් වන්නේ Move Forward පක්ෂය වෙනුවෙන් සහාය පළ කරන දෑය. මැතිවරණ නීති මඟින් තමා ඡන්දය ප්‍රකාශ කරන්නේ කවරෙක්ටද යන්න පැවසිය නොහැකි බැවින් ඔවුන් තෝරාගෙන තිබුණේ මෙම මාධ්‍යයන්ය. එමෙන්ම Move Forward පක්ෂය නියෝජනය කරන තැඹිලි පැහැයෙන් යුත් කමිස, සෙරෙප්පු පැලඳීමෙන් ඔවුන් අනෙකාට තම අදහස නිහඬවම කියාපාන්නට විය. Phen Thai පක්ෂය හා සසඳා බැලූවිට Move Forward පක්ෂයෙහි ආදායම් තත්ත්වය යහපත් තැනක නොතිබූ නිසා ඔවුන් තමන්ගේ පණිවුඩ බෙදාහැරීම සඳහා සමාජ මාධ්‍ය බහුල ලෙසින් යොදා ගැණිනි.

මුල් අවස්ථාවේ ලැබූ ඡන්ද ප්‍රතිඵල මත තවත් කණ්ඩායම් සහභාගි කර ගනිමින් රජයක් පිහිටුවීමට සිදුවේ යැයි බොහෝ දෙනා කියා සිටියදී Move Forward පක්ෂය දැඩි තීරණයක් ප්‍රකාශයට පත්කරනු ලැබීය. එනම්, 2014 දී සිදු වූ හමුදා ක්‍රමන්ත්‍රණයට සම්බන්ධ කිසිදු පක්ෂයක් සමඟ සභාග සෑදීමට ඔවුන් ක්‍රියා නොකරන බවයි.

තායිලන්තයේ සමාජ මාධ්‍යයන්හි මැතිවරණයේ සියලු ප්‍රතිඵල පැමිණීමටත් පෙර සිටම Move Forward පක්ෂයේ ජයග්‍රාහී ප්‍රචාරක දැන්වීම් මඟින් පිරී ඉතිරී යන්නට විය. ඔවුන් තම පිරිස් හඳුන්වා දෙනු ලැබුවේ “ඕගනික ඡන්ද ප්‍රචාරකයින්’ ලෙසයි. එමෙන්ම ඔවුන් පුන පුනා පවසා සිටියේ “නැවුම් යුගයක ඇරඹුමක් පැමිණ තිබෙන බවයි. ටිව්ටර් පණිවුඩ දස අත හුවමාරු වූයේ Move Forward පක්ෂය වෙනුවෙන් ලියවුණු ජයග්‍රාහී උදාන වාක්‍යයන්ද සමඟිනි. එමෙන්ම Move Forward පක්ෂයේ නායකත්වය දරන Pita Limjaroenrat ට්විටර් පණිවුඩයක් මඟින් ප්‍රකාශ කර සිටියේ තායිලන්තයේ 30 වැනි අගමැතිවරයා ලෙසින් තමා දිවුරුම් දීමට සූදානමින් සිටින බවයි. එමෙන්ම වැඩිදුරටත් ඔහු එහි දක්වා තිබුණේ තායිලන්තයේ සිහින සහ අපේක්ෂා සමඟින් වඩාත් යහපත් මට්ටමකට තායිලන්තය පත්වනු ඇති බවයි.

වඩා වැදගත් කාරණාවක් ලෙසින් දැක්විය හැක්කේ මාස කිහිපයක් පුරා 2020 වසරේදී පැවැති ශිෂ්‍ය ව්‍යාපාර සහ උද්ඝෝෂණයි. ඉන් වසර 3ක් ඉක්මගිය තැන එම ව්‍යාපාරයේ සිටි නායකයන් මෙවර Move Forward පක්ෂයේ ඡන්ද අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටියහ.

පවතින වාතාවරණය කවරක් වුවද කොයිහැටි වෙතත් කියා Pita Limjaroenrat වේලාසනම ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමට කටයුතු කළේය. එහි පැහැදිලිවම ඔහු සඳහන් කර සිටියේ තමා තායිලන්තයේ 30 වැනි අගමැතිවරයා වන බවය.

ආදරණීය සහෝදර පුරවැසියනි, මම තායිලන්තයේ 30 වැනි අගමැතිවරයා වීමට සූදානමින් සිටිමි. අපි අපගේ සිහින සහ බලාපොරොත්තු විශ්වාස කරමින් කටයුතු කළහොත්, තායිලන්තය මීට වඩා හොඳ තැනකට ගෙන යා හැකියි. මොකද අප සතු එම සිහින සරල නිසා.

එම පණිවුඩය අවසානයේ තායිලන්ත ජනතාව වෙත දැනෙන කතාවක් කියන්නට අමතක කළේද නැත. එය තේරුම් ගන්නාට හොඳට මෙන්ම නරකට ද තේරුම් ගත හැකිය. එහි ඔහු පවසා සිටියේ, “ඔබ මා සමඟ එකඟ වුවත්, එකඟ නොවුවත් මා ඔබේ අගමැති, ඔබ මට ඡන්දය දුන්නත් නොදුන්නත් මම ඔබට සේවය කරනවා යනුවෙනි.

කෙසේ වුවත් කිසිදු පක්ෂයකට තනි පාලන බලයක් තමා වෙත නතුකර ගැනීමට නොහැකි වූ අතර, පසුගිය සඳුදා විරුද්ධ පක්ෂ දෙකම සභාගයක් පිහිටුවීමට එකඟතාව පළ කළහ. ඊට පෙර Pita Limjaroenrat විසින් ආසන 309ක් හිමිවන සේ පක්ෂ 6ක සන්ධානයක් යෝජනා කළද ඔහුට අගමැති වීම සඳහා අවශ්‍ය ආසන 376ක හිඟ වීමක් දක්නට ලැබුණි. පසුව ඔහු මාධ්‍යට පවසා තිබුණේ මා කනස්සල්ලට පත් නොවනවා මෙන්ම නොසැලකිලිමත් නොවෙමි යනුවෙනි.

මේ අතරම ෂිනවත්‍රා පවුල විසින් පාලනය කරනු ලබන Phen thai පක්ෂය කියා සිටියේ Pita ගෙන ආ යෝජනාවට එකඟවන බවත් අගමැති වීමේ ප්‍රයත්නයට සුබ පතන බවත්ය.

රජිත බස්නායක

නව අදහස දක්වන්න