ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවකට අමෙරිකාවෙන් චීනයට ඇරියුම් | දිනමිණ

ආරක්ෂක ප්‍රධානීන්ගේ හමුවකට අමෙරිකාවෙන් චීනයට ඇරියුම්

අමෙරිකාවේ ආරක්ෂක ලේකම් සහ චීන ආරක්ෂක ඇමැතිවරයා අතර සාකච්ඡාවක් ලබන මස සිංගප්පූරුවේදී පැවැත්වීමට අමෙරිකාව බලාපොරොත්තුවෙන් පසු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර එවැනි සාකච්ඡාවකට චීනය එකඟතාව පළ නොකළ ද, චීනය සමඟ හමුදාමය සබඳතා ගොඩනඟා ගැනීමට බයිඩ්න් පරිපාලනය තීරණය කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. එම සාකච්ඡාව සඳහා චීනය එකඟවන්නේ නම් එය පසුගිය පෙබරවාරි මාසයේදී චීන ඔත්තු බැලූන සිදුවීමෙන් පසුව දෙරටේ ඉහළ මට්ටමේ නිලධාරින් අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව වනු ඇත.

යෝජිත සාකච්ඡාව දෙරටේ රාජ්‍ය නායකයන් අතර හමුවක් සිදු කිරීමට අවශ්‍ය අඩිතාලම ද දමනු ඇතැයි ඇතැම් වාර්තා මඟින් සඳහන් වේ. අමෙරිකාවේ සහ චීනයේ ජනාධිපතිවරු අතර දිගුකාලීනව කිසිදු හමුවක් සිදු වී නැති බැවින් එවැනි හමුවක් දෙපාර්ශ්වයටම තරමක දුෂ්කර එකක් වනු ඇතැයි ද වාර්තා පළ වි තිබේ. කෙසේ වුව ද ආරක්ෂක ප්‍රධානින්ගේ සිංගප්පූරු සාකච්ඡාවට චීනය එකඟ නොවන්නේ නම් එය ලෝක බලවතුන් අතර, විරසකය සමනය කරගැනීමට බලපෑම් කරමින් සිටින කලාපයේ සෙසු රටවල කෝපයට ද හේතු වනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

 

නව අදහස දක්වන්න