ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියසදී අභිමානවත්ව පැවැත්විණි.
දශක තුනක කාලයක් පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝදාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට අදට වසර 14ක් සපිරේ. එහිදී යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බළකායේ වීරෝදාර රණවිරුවෝ 28,619 දෙනෙක් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූහ. ආබාධිත වූ රණවිරුවන් සංඛ්‍යාව විසිහත්දහසකට අධිකය. ඔවුන් වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය පළ කරමින් ජාතික රණවිරු සේවා අධිකාරිය 2023 ජාතික රණවිරු සැමරුම් උලෙළ අභිමානවත්ව සංවිධානය කර තිබිණි.
ජාතික ගීය වාදනයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිස දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක නිරත වූහ.
සර්ව ආගමික වතාවත් මධ්‍යයේ උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර, රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමට සිය ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවල, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ විරෝදාර රණවිරුවන්ගේ සදාතනික මතකයන් හා වීරත්වය ඇගයීම සඳහා විශේෂ රණ බෙර වාදනයක්ද පැවැත්විණි.
අනතුරුව ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහජන
ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික ජෙනරාල්) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු, රණවිරුවෝ සහ රණවිරු පවුල්වල සාමාජිකයෝ රණවිරු ස්මාරකය පාමුල මල් කළඹ තබා රණවිරුවන්ට උත්තමාචාරය පුද කළහ.
නව අදහස දක්වන්න