හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට එරෙහි අල්ලස් නඩුව තවදුරටත් පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට තීරණය කළ කොළඹ මහාධිකරණය විත්තිකරුවන් නිදහස් කිරීමට ඊයේ (19) නියෝග කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා මේ නියෝගය නිකුත් කළ අතර අල්ලස් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නඩුව පවරා නැති බැවින් විත්තියේ මූලික විරෝධතාව පිළිගනිමින් විත්තිකරුවන් මුදාහරින බව විනිසුරුවරයා නියෝග කළේය.
වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීමෙන් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව අල්ලස් කොමිසම මේ නඩුව ගොනු කර තිබිණි.
විත්තිකරුවන් ඊයේ අධිකරණයේ පෙනී සිටි අතර, ඔවුන් මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කළේය.
අල්ලස් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව පැමිණිල්ලක් විමර්ශනය කිරීමේදී හා ඊට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තිදෙනාගේම ලිඛිත අනුමැතිය හා අවසරය අවශ්‍ය බවත් මේ විමර්ශනයේදී හා නඩු පැවරීමේදී කොමසාරිස්වරුන් තිදෙනාම ඊට අත්සන යොදා නැති බවත් විත්තිය මූලික විරෝධතාවක් මතු කරමින් සඳහන් කළේය. අදාළ විරෝධතාව සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මේ නියෝගය ප්‍රකාශයට පත් කළේය.
විත්තිකරුවන් වෙනුවෙන් කිංකිණි විලංගමුව මහත්මිය ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය පෙනී සිටියාය.
රෝෂන් තුෂාර
නව අදහස දක්වන්න