විශේෂඥ කණ්ඩායමට සියලු පහසුකම් සලසන්න - CIDයට දැනුම් දෙයි
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මෘත දේහය යළි ගොඩ ගෙන, පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලයට විමර්ශන කටයුතු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංචපුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පෙරේදා (18) අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය කළාය. තවද මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගමන් වියදම් හා ආහාරපාන ආදි සියලු සුබ සාධක වියදම් දරමින් වෛද්‍යවරුන් පස් දෙනාට එකම ස්ථානයක සිට මෘත දේහය සම්බන්ධ වැඩිදුර විමර්ශනය සිදු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සියදිවි නසාගැනීමක්ද නැත්නම් ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මේ දක්වා සිදු කර ඇති විමර්ශනවලට අදාළව ලද සාක්ෂි මත දේහය යළි ගොඩ ගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇති බවට ලිපියක් මඟින් අධිකරණයට ලිඛිතව පෙරේදා (18) දන්වා තිබිණි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඊයේ (19) මෝසමක් ගොනු කරමින් දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මෘත දේහය ගොඩ ගැනීම සඳහා අවසර දෙන ලෙස අධිකරණයේ ඉල්ලීමක් කර තිබිණි.
කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පෙබරවාරි 27 වන දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය විසින් දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීම සඳහා පත් කරනු ලැබීය. මේ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ සභාපති ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් , රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩී.සී.ආර්. පෙරේරා, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෝහාරික විශේෂඥ මහාචාර්ය ඩී. ප්‍රනාන්දු, පේරාදෙණිය රෝහලේ ජේෂ්ඨ අධිකරණය වෛද්‍ය නිලධාරි එස්. සිවසුබ්‍රමනියම් හා ගාල්ල කරාපිටිය රෝහලේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරී ජී.ආර්. රුවන්නුවර සෙසු සාමාජිකයන් ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් නම් කරනු ලැබීය.
මේ කමිටුව වෙත 2022/12/15 වන දින මියගිය දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණ පරීක්ෂණ වාර්තා, ඩීඑන්ඒ වාර්තා, සොකො නිලධාරීන්ගේ වාර්තා, ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හදිසි ප්‍රතිකාර අංශයේ ඇඳ ඉස් පත් වාර්තා, ශාෆ්ටර් මහතාගේ මානසික වෛද්‍ය වාර්තා ඇතුළු සියලු ලේඛන අධිකරණ රෙජිස්ට්‍රාර් මඟින් කමිටුව වෙත සපයා තිබිණ. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 375 වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව මහේස්ත්‍රාත්වරිය විසින් ශාෆ්ටර් මහතාගේ මරණයට හේතුව තීරණය කර ගැනීම සඳහා මේ පංච පුද්ගල වෛද්‍ය කමිටුව පත් කර තිබිණි.
සිරන්ජනී කුමාරි
නව අදහස දක්වන්න