රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයෑමේ වැඩපිළිවෙළ වේගවත් කරනවා | දිනමිණ

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයෑමේ වැඩපිළිවෙළ වේගවත් කරනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙනයෑමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පෙරේදා (18) පස්වරුවේ එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මාසයක් තුළ ඒ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස විෂය භාර රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු නිලධාරින්ට මා උපදෙස් ලබා දුන්නා. රට ඩිජිටල් ආරථිකයක් කරා ගෙන යෑමේ වැඩපිළිවෙළ කිසිසේත් ප්‍රමාද කළ යුතු නැහැ. එය වේගවත් කරන තරමට ප්‍රතිඵල අත්කරගත හැකියි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය වේගවත් කිරීම සඳහා සැබෑ “ඊ -වාණිජ්‍ය” යුගයේ ආරම්භය සනිටුහන් කරමින් ඩරාස් ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම පිළිබඳව අලිබබා සමාගමට ස්තූතිය පළ කරනවා.

ශ්‍රී ලංකාවේ ඩරාස් ස්ථාපිත කිරීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඊ-වාණිජ්‍ය සඳහා ඇති අවස්ථාවයි. අප දැන් සිටින්නේ ඊ-වාණිජ්‍ය යුගයකයි. එහෙත් අපේ රට තුළ ඊ-වාණිජ්‍යය ආරම්භ කිරීම ප්‍රමාද වුණා. මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය ආරම්භ කර වේගවත් කරන්නේ කෙසේද සහ ඒ සඳහා මාර්ගය සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව රාජ්‍ය ඇමැතිතුමාත්, මමත්, ලේකම්තුමාත් තවත් නිලධාරීන් කිහිපදෙනෙකුත් එක්ව සාකච්ඡා කළා. ඒ අනුව ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුළතදී ලබා දෙන ලෙස මා ඔවුන්ට දැනුම් දුන්නා.

රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම උත්සාහයකම අප නිරත වෙනවා. අපිට අමුතුවෙන්ම මෙම ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. මොකද දකුණු ඉන්දියාවේ, තමිල්නාඩුවේ මේ තාක්ෂණික පද්ධතිය අපට පහසුවෙන් භාවිතා කළ හැකි වේවි කියා මම හිතනවා. මේ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට මම සූදානම්. ශ්‍රී ලංකාවේ අප බොහෝ දෙනෙක් කතා කරන දෙමළ සහ ඉංග්‍රීසි ඔවුන්ට අදාළ භාෂා වන නිසා තවදුරටත් අපට වැඩ කිරීම ඉතා පහසු වෙනවා.

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) උදාහරණයට ගත් විට මම 1993 අගමැති ලෙස කටයුතු කරන විට ද ඒ පිළිබඳව කතා කළා. නමුත් 2023ත් අප තවම ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ අනුව හිතාගන්න පුළුවන් අප මෙම කටයුතු සඳහා කොපමණ කාලයක් ගත කර තිබෙනවාද කියා. මට වගේම පාර්ලිමේන්තුවට ද අවශ්‍යව ඇත්තේ RAMIS ඇතුළු රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යෑමේ කටයුතු මේ වසර අවසන්වන විට අවසන් කිරීමටයි. වේගවත් ගමනක් යන තරමට එය වඩා ප්‍රතිඵලදායකයි.

ඩිජිටල් ආර්ථිකය සහ හරිත ආර්ථිකය සමඟ අප සමාන්තරව ගමන් කළ යුතුයි. අද ආසියාවේ හරිත ආර්ථිකය ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. ඒ ව්‍යාපාරය ඩොලර් ට්‍රිලියන 5ක් වටිනවා. දැන් අපට ට්‍රිලියන 5ක් අවශ්‍ය නැහැ. බිලියන කිහිපයක් ලැබුණා නම් ඇති. එසේ නම් මෙම වැඩපිළිවෙළ සමඟ අප ඩිජිටල් යුගයට ගමන් කරමු. ඒ සඳහා අපි කිසිසේත්ම පසුබට විය යුතු නැහැ.

මෙය ආරම්භය පමණයි. ඩරාස්හි සේවය කරන ඔබ සියලු දෙනාම එම ඩිජිටල් ආර්ථිකය ගොඩනැඟීමට අපට සහාය වනු ඇතැයි මම විශ්වාස කරනවා. මේ සම්බන්ධයෙන් ඔබට කිසියම් අදහසක් ඇත්නම් රාජ්‍ය ඇමැතිවරයාට ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.

ඩරාස් මූලස්ථානය නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිවරයා එය නිරීක්ෂණය කිරීමට ද එක් වූ අතර, එහි අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවක ද නිරත විය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත්, ඩරාස් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප්‍රනාන්දු, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු සහ ඩරාස් ප්‍රධාන මූලස්ථානයේ කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න