අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනායක හිමියන්ගේ අපවත්වීම බෞද්ධ ශාසනයට සිදු වූ බලවත් පාඩුවක් | දිනමිණ

අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනායක හිමියන්ගේ අපවත්වීම බෞද්ධ ශාසනයට සිදු වූ බලවත් පාඩුවක්

අගමැති දිනේෂ් ගුණවර්ධන

හෙළ සසුන් කෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම මහත් ශාසනික හිඩැසක් වනු ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මහ නාහිමිපාණන් වහන්සේ අපවත්වීම පිළිබඳ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා එසේ සඳහන් කළේය.

එම ශෝක පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

හෙළ සසුන් කෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ, ශ්‍රී අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්දර, කළපළුවාව ශ්‍රී ගෝතම තපෝවනය හා ප්‍රධාන තදීය ශාඛා මධ්‍යස්ථානයන්හී අධිපති, මහාවිහාර වංශාලංකාර ශාසන විභූෂණ, අමරපුර ගණපාමොක්ඛාචරිය, අග්ගමහා පණ්ඩිත, අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම මහත් ශාසනික හිඩැසක් වනු ඇත.

ශාසනික, ආගමික හා සංස්කෘතික හරපද්ධතීන් රැසක් සමාජ ගත කළ උන්වහන්සේ දොඩම්පහල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික ඉගෙනීම ලබා මාතර වීරබා පිරිවෙන හා ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනෙහි උසස් අධ්‍යාපනය ලැබ සිංහල, පාලි, සංස්කෘත, ඉතිහාසය, පුරා විද්‍යාව, අභිධර්මය ආදි විෂයයන්‌ පිළිබඳව ප්‍රාමාණික යතිවරයෙකි.උන්වහන්සේගේ උතුම් දායාදයක් වන “ගෝතම තපෝවනය” භාවනා මධ්‍යස්ථානය ජාතියටත්, සම්බුද්ධ ශාසනයට හා මුළු මහත් සමාජයටත් මඟ පෙන්වන්නකි. මහානායක හිමියෝ බැහැදැකීමට පැමිණී සෑම අවස්ථාවකම ජනතාවගේ ආරක්ෂාව හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා නිරන්තරයෙන් අනුශාසනා කරමින් කළ මඟපෙන්වීම් ජාතියේ නාමයෙන් කෘතවේදීව සිහිපත් කරමි.

සම්බුදු සසුන වෙනුවෙන්‌ උදාරතර ලෝක ශාසනික සේවාවක නිරත වූ අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහානායක ස්වාමින් වහන්සේගේ අපවත්වීමෙන් ශෝකයට පත් සහෝදර හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ, ඥාතිමිත්‍රාදීන්, දායකකාරකාදීන් හා සහසම්බන්ධිත සැමට සංවේගය පළ කරමි.

සසුනඹර එළිය කරමින් සිට නිවී ගිය අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමින් වහන්සේට නිවන්සුව පතමි.


 

දැයට සමු දුන් අමරපුර පින්කෙත දොඩම්පහළ චන්දසිරි මහනාහිමි

 

අමරපුර භික්ෂු වංශය මෙරට පිහිටුවා පසුගිය 15 වෙනි දිනට වසර දෙසිය විස්සක් සම්පූර්ණ විය. එදිනට පසුදින අමරපුර භික්ෂු වංශයේ වත්මන් නියමුවාණන් වන අතිපූජනීය ගරුතර අග්ගමහා පණ්ඩිත අභිධජ රට්ඨගුරු දොඩම්පහළ චන්දසිරි අමරපුර මහනාහිමියන් දැයෙන් සමුගත්තේ වසර අසූ හතරක දිවි ගමන නිමා කරමිනි.

සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා සුවිශේෂී මෙහෙවරක් සිදුකළ අමරපුර කල්‍යාණවංශ මහා නිකායික මහ සඟපරපුරට අයත් දොඩම්පහළ උත්තරීතර මහනාහිමියෝ දකුණු සිරිලක මාතර දිසාවේ දෙවිනුවර ආසන්නයේ දොඩම්පහළ නම් බොදුණු ගම්මානයේ උපත ලද්දේ 1939 දෙසැම්බර් 25 වැනිදාය. දොඩම්පහළ ගම්මානයේ ජීවත් වූ එදිරිවීර පටබැඳිගේ සරණේලිස් ද සිල්වා සහ එදිරිසූරිය ආරච්චිලාගේ මිසිනෝනා උපාසිකාව යන මාපියන්ගේ දරුවන් සත් දෙනා අතරින් දෙවැනි දරුවා ලෙසය. ඔහු නමින් සුගුණදාස විය. වත්මන් දොඩම්පහළ මහ විදුහලෙන් ගිහිකළ අධ්‍යාපනය ආරම්භ කළ සුගුණදාස සිසුවා අවුරුදු එකොළොස් විය සපිරෙද්දී එනම් 1950 වසරේ නොවැම්බර් මස 25 වැනිදා අතිඋතුම් වූ පැවිදි දිවියට පත් වූයේ දොඩම්පහළ චන්දසිරි යන නාමයෙනි. අතිපූජ්‍ය මාතර සද්ධාරාම මාහිමිපාණන් වහන්සේගේ සහ අතිපූජ්‍ය මාතර මේධානන්ද මාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් මාතර නූපේ ජයමහා විහාරස්ථානයේදී පැවිදි වූ චන්දසිරි හිමියෝ එම විහාරස්ථ විජයබා පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබන්නට වූහ. පසුව ගාල්ලේ විද්‍යාලෝක විශ්වවිද්‍යාලීය පිරිවෙනින් උසස් අධ්‍යාපනය ලද චන්දසිරි හිමියන් 1962 වසරේදී ජුනි මස 17 වැනි දින මාතර නිල්වලා නදි උදකුක්ඛේප සීමාමාලකයේදී කල්‍යාණවංශ මහ නිකායික මහ සඟරුවන වෙතින් සුපිරිසිදු උපසම්පදා ශීලයට පත් වූහ.

උපසම්පදා භූමියට පත් වීමෙන් පසු තම පැවිදි ආචාර්යවරයාණන් මාතර සද්ධාරාම මාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයක් වූ අතිපූජ්‍ය කුඩාවැල්ලේ වංගීස මාහිමිපාණන් වහන්සේගේ ආරාධනාවෙන් කොළඹට වැඩම කළ දොඩම්පහළ චන්දසිරි හිමි කොළඹ බෞද්ධාලෝක මාවතේ ජර්මන් ධර්මදූතාශ්‍රමයේ වැඩ වෙසෙන්නට වූහ. මෙම ස්ථානයේ වැඩ වෙසෙන සමයේ කුඩැවැල්ලේ වංගීස නාහිමියන්ගේ මඟ පෙන්වීම මත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේද ඇසුර ලබා ගත්හ. ඒ තුළින් මනාව භාවනා ක්‍රම උගත් අප මාහිමිපාණන් වහන්සේ සිය ඉදිරි ගමනට අමරපුර ස්වෙජින් මහා නිකායේ අනුනායකව වැඩ සිටි අපවත් වී වදාළ කහටපිටියේ සුමතිපාල අනුනායක මාහිමියන්ගෙන් අවවාද අනුශාසනා උපදේශන මත සිය භාවනායෝගී ජීවිතය මනාව සකසා ගත්හ. එයින් පසු මහනුවරට වැඩම කළ දොඩම්පහළ මාහිමියන් උඩවත්ත කැලේ දළදා තපෝවනයට වැඩමකර එහි වෙසෙමින් තම ආගමික ශාසනික කටයුතු ඉදිරියට පවත්වාගෙන ගියහ. එහි වැඩ සිටි කාලය වසර දහ තුනකි.

මේ අතරතුර 1982 වසරේදී තම ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර අතිපූජ්‍ය කුඩාවැල්ලේ වංගීස අධිකරණ සංඝ නායක මාහිමිපාණන් වහන්සේගේ හදිසි අපවත්වීම නිසා උන් වහන්සේ ගොඩනඟාගෙන පවත්වාගෙන ගිය රාජගිරිය තපෝවනයේ සියලු කටයුතු හා වගකීම් පැවරුණේ දොඩම්පහළ මාහිමිපාණන් වහන්සේ වෙතය.

ඒ අනුව තපෝවනයේ ප්‍රධානත්වය 1982 වසරේ සිට භාරගත් දොඩම්පහළ මාහිමියන් එම ස්ථානය දියුණු කරමින් මෙරට ප්‍රතිපත්ති ශාසනය ගොඩනැඟීම සඳහා සිදු කරන්නට ගන්නා වෙහෙස අගය කළ කල්‍යාණවංශ මහා නිකාය මඟින් අප මා හිමියන් වෙත 1983 වසරේදී 'තපෝවන සංඝනායක' යනුවෙන් නව පදවියක් ඇතිකර පිරිනමා ගෞරව දක්වන්නට පියවර ගත්හ.

දිනෙන් දින ප්‍රගතිය කරා ඉදිරියට ගිය රාජගිරිය සිරි ගෝතම තපෝවනය දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් භාවනායෝගීව ජීවිත ගත කරන අයටද මඟ පෙන්වන ආයතනයක් විය. තපෝවනයට අනුබද්ධව වංගීස යනුවෙන් පිරිවෙනක්ද ආරම්භ කළ දොඩම්පහළ නාහිමියෝ කුමාර කාශ්‍යප නමින් ළමා නිවසයක්ද පිහිටුවූහ.

නාහිමියන්ගේ ශාසනික සේවයට විටින් විට හිමි වූ ගෞරවනාම හා නායක පදවි රාශියකි. ඒ අනුව කල්‍යාණවංශ මහා නිකායේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියද 1989 වසරේදී ස්වකීය නිකායේ අනුනායක පදවියෙන්ද පිදුම් ලද දොඩම්පහළ නාහිමියන් 1996 වසරේ මාර්තු මස 31 වැනි දින සිය කල්‍යාණවංශ මහා නිකායේ මහනායක පදවියෙන් සම්මානිත විය. දොඩම්පහළ මහනාහිමියන් එම පදවියට පත්වනතුරු කල්‍යාණවංශ මහා නිකාය අමරපුර මහා සංඟ සභාවට එක්ව තිබුණේ නැත. එම නිසා නාහිමියන් සිය නිකායේ අනුමැතිය ද සහිතව කල්‍යාණවංශ මහා නිකාය අමරපුර මහා සංඝ සභාවට එක්කරමින් එහි පාර්ශ්වයක් බවට පත් කළහ. ඒ අනුව අමරපුර මහා සංඝ සභාවේ පාලන සභික ධුරයටද පසුව මහා සංඝ සභාවේ උපසභාපති ධුරයටද පත්වූ දොඩම්පහළ චන්දසිරි මහානාහිමියෝ 2013 වසරේ සිට 2018 දක්වා වසර පහක පමණ කාලයක අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවියෙන් පිදුම් ලැබූහ. 2020 වසරේ සිදු වූ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායකව වැඩ සිටි මහෝපාද්‍ය අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ අපවත් වීමෙන් හිස් වූ උත්තරීතර මහානායක පදවියට පත් වූ සිවුවැනි මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත සිය ප්‍රසාදය පළ කළ මියන්මාර රජය සහ මහා සඟරුවන එරටින් පිදෙන අග්ගමහාපණ්ඩිත උපාධිය සහිත අභිධජ මහාරට්ඨගුරු යන ගෞරවනීය නාමය දොඩම්පහළ චන්දසිරි මාහිමිපාණන් වහන්සේ වෙත පුදා ගෞරව ප්‍රසාදය පළ කළහ‍.

අප මහානායක හිමිපාණන් වහන්සේගේ ජීවිතය ගලන ගඟක් බඳු විය. කුමන බාධක පැමිණියද ඒවා මැඬගෙන ගඟ ගලන්නා සේ මහනාහිමියෝ සිය ශාසනික ප්‍රතිපදාවන් අත්නොහැර පවත්වාගෙන ආහ. විවිධ ප්‍රදේශවල අභිනවයෙන් භාවනා මධ්‍යස්ථාන හා ආරාම ගොඩනැංවූහ. සිය පැවිදි ශිෂ්‍ය පිරිස ශාසන ප්‍රතිපදාවේ පිහිටුවා අවවාද අනුශාසනා ලබා දෙමින් රැක ගැනීම සුවිශේෂි මෙහෙවරට කදිම නිදසුනකි. පසුගිය සමයේ ඇති වූ සුනාමි ව්‍යසනයේදී විනාශ වී ගිය ආරාම නැවත ගොඩනැඟීම සඳහා නිකාය භේදයෙන් තොරව පියවර ගත්හ.

වර්තමාන යුගයේ බෞද්ධ පුනර්ජීවනයට මහා මෙහෙවරක් කළ පාණදුරේ අරියධම්ම මාහිමියන් අප නාහිමියන් වහන්සේගේ පැවිදි සහෝදර හිමිනමක් වූවද උන් වහන්සේ ශිෂ්‍යයෙකු සේ සලකා සදූපදේශන ලබා දුන්නේ අප මහානායක මාහිමිපාණන් වහන්සේ විසින්ය. මේ වනවිට රටක් සනසවමින් දහම් මඟ කියාදෙන අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන මාහිමිපාණන් වහන්සේද අප මහනාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයකි.

සිය ජීවිතය අර්ථයෙන් ධර්මයෙන් ගතකළ අමරපුර භික්ෂු වංශයේ වත්මන් නියමුවාණන් වන බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත අභිධජ රට්ඨමහාගුරු දොඩම්පහළ චන්දසිරි මහානායක මාහිමියන් භව ගමනේ අනිත්‍යභාවය පසක් කරමින් පසුගිය දින අපවත් වී වදාළේ මෙරට සසුන්කෙතේ පිරවීමට අසීරු හිස් තැනක් ඇති කරමිනි.

උත්තරීතර මහානාහිමි සඳුනි ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

 

වජිර අබේවර්ධන

පාර්ලිමේන්තු මන්ත්‍රී

සභාපති - එක්සත් ජාතික පක්ෂය

නව අදහස දක්වන්න