- සැමියාට මේ වින්නැහිය වුණේ බෙරුකොට අයින් කරන්න ගිහිනුයි
- පාරුවේ ගිය අයට මංජුලව බේරා ගන්න බැරි වෙලා
- බිරිය හඬා වැටෙයි
පහළ අතුරලිය ප්‍රදේශයේදී කෙසෙල් කොටන්වලින් සාදා ගත් පාරුවක නැඟ ගංවතුරේ ගසාගෙනවිත් තිබූ විශාල තණකොළ කුට්ටි (බෙරුකොට) ඉවත් කරමින් සිට ඇති තරුණ පිරිසක් අතුරින් එක් අයකු ජල රකුසාට බිලි වී තිබේ.
මෙසේ මරණයට පත්ව ඇත්තේ අකුරැස්ස, අතුරලියේ මංජුල නමැති තිදරු පියෙකි. ගමේ තරුණ පිරිස බෙරුකොට ඉවත් කිරීමට කටයුතු කර තිබුණේ තම තමන්ගේ වෙල් යායේ බීජ වැපිරීමේ කටයුතු සාර්ථක කර ගැනීමේ අරමුණිනි. මෙලෙස බෙරු කොට ඉවත් කරමින් සිටින අතුරතුර පාරුවේ සිටි එක් ළමයකු ජලයට වැටී ඇත. මියගිය මංජුල ද ගංවතුරට බැස වැටී සිටි ළමයාව බේරා ගැනීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ ඔහු පිහිනීමට නොහැකිව සැඩ පහරට හසු වී ගසාගෙන ගොස් තිබුණි. මංජුල සමඟ පැමිණි සගයන් ඔහුව බේරා ගැනීමට අපමණ වෙහෙසක් ගත්ත ද සැඩ පහරේ වේගය නිසා එම උත්සාහයන් ව්‍යර්ථ වී තිබේ. ඔවුන්ගේ කෑ කෝ ගැසීම්වලින් ගම්මානයේම පිරිස් තම තමන්ට හැකි පමණින් මංජුලව සොයා ගැනීමට වෙර දැරුව ද ඉන් පලක් නොවිණි.
අකුරැස්ස නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කළ මංජුල වයස අවුරුදු 13, 09 සහ 03 වයස් කාණ්ඩවල දියණියන් තිදෙනකුගේ පියෙකි. වැඩිමහල් දියණියන් දෙදෙනා මාර/ අතුරලිය ජාතික පාසලේ ඉගෙනුම ලබති. තම ස්වාමිපුරුෂයාගේ හදිසි වියෝ වීම දරාගත නොහැකිව තම දරුවන් තිදෙනා ද සමඟ තනි වූ මංජුලගේ ආදරණීය බිරිය කේ.එල්. ලසන්ති මහත්මිය මෙම මරණය සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවාය.
Òඑදා ගංවතුර ගලල පාරේ යන්න බැරිව තිබුණු නිසා මංජුල වැඩට ගියේ නැහැ. අපේ පොඩි දුව ටිකක් අසනීප ගතියෙන් හිටි නිසා දරුවත් අරගෙන අපි ගම්උදාව රෝහලින් බෙහෙත් අරගෙන ඇවිත් තමයි හිටියෙ. එදා සවස් යාමයේදී තමයි මේ වින්නැහිය වුණේ. අපේ ගෙවල් ළඟ වෙල් යායේ ගංවතුර බහින්නේ නැතිව තියෙන්නේ බෙරුකොට (තණකොළ ගොඩවල්) ගංවතුරට ගහගෙන ඇවිල්ල ඇළවල් හිරවෙලා තියෙන නිසා. ඒව අස් කරන්න යනවා කියල තමයි එයා ගියේ. ඒවා අස් කළේ නැත්නම් කුඹුරු වැඩ කරන්න බැහැ. වපුරන්න කිට්ටු වෙලයි තිබුණේ. හොඳ වැඩක් කරන්න ගිහිල්ලා තමයි මෙහෙම වුණේ. තව කට්ටියක් ගියා. ඒගොල්ලට මෙයාව ගොඩට ගන්න බැරි වෙලා තියෙනවා.Ó
හදිසි මරණ පරීක්ෂක අනුර ප්‍රේමසිරි මහතා විසින් මරණ පරීක්ෂණය පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත සිරුර යැවීමට නියෝග කෙරිණ. මාතර අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය චිරාන් ගුණසේකර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින්, දියේ ගිලී හුස්ම සිරවීමෙන් සිදු වූ මරණයක් බවට තීන්දු කළේය. අකුරැස්ස පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල් 95900 රුවන් කුමාර මහතා මරණ පරීක්ෂණ කටයුතුවලට සහාය විය.
මංජුලගේ නිසල දේහය පෙරේදා (17) සවස නිවෙසට රැගෙන ආ අතර ඊයේ (18) උදෑසන අවසන් කටයුතු කිරීමට නියමිතව තිබිණි.
විජිත සල්ගාදු
අකුරැස්ස මධ්‍යම විශේෂ
නව අදහස දක්වන්න