රජයේ සහනාධාර කිසිවක් නෑ
පාසල් යන දරු තිදෙනාගේ අඩුපාඩු ඉහටත් උඩින්
පවුල රකින්න ස්වයං
රැකියාවක්වත් දුන්නොත් පිනක්
බිරිය හැඬූ කඳුළින් කියයි
සාමාන්‍ය අයකු මෙන් එදිනෙදා වැඩපළවල නිරත වීමට අතපය වාරු නොතිබුණ ද තම ආබාධිත තත්ත්වය පවා නොසලකා දරු තිදෙනා ජීවත් කරවීමට සඳහා අඹ කැඩීමේ නිරත වුණු ගලේවෙල කොරකහගොල්ල ප්‍රදේශයේ එම්.එස්. ප්‍රසන්න කුමාර (39) දිරිය පියෙකි. කිසිවකුට අත නොපා වේලක් හැර වේලක් හෝ කුස පුරවා ගනිමින් ජීවත් වූ ඔවුන්ගේ ජීවිතයට කණ කොකා හඬන්නේ බිරියගේ ඇස් පනාපිටම ප්‍රසන්න අඹ ගස පාමුල ඇද වැටී පූර්ණ ආබාධිතයකු බවට පත් වීම නිසාය. අවාසනාවන්ත අයුරින් සිදු වුණු මෙම අනතුර නිසා ඔවුන් දරුවන් ජීවත් කරවීමට නොහැකිව දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා සිටියි.
ප්‍රසන්නගේ ආදරණීය බිරිය සර්ධා සංජීවනී (34) වියේ පසුවන්නීය. මෙම යුවළ විවාහ වූ දින සිට ආර්ථික දුෂ්කරතා මඟහරවා ගනිමින් තම ශ්‍රමය කැප කර දරුවන් ජීවත් කරවමින් ධෛර්යයෙන් යුතුව කටයුතු කර තිබේ. මීට වසර දහයකට පමණ ඉහතදී ඔවුන්ගේ ත්‍රිරෝද රථය බස් රථයක ගැටීමෙන් ප්‍රසන්න කුමාරගේ එක් පාදයක් ආබාධිත තත්ත්වයට පත්ව තිබිණි. පාදයේ ආබාධය නොතකා දරුවන්ගේ අගහිඟකම් දිනෙන් දින වැඩි වෙද්දී ඔහුම පාදයට දමා තිබූ හුණු බදාම සහිත වෙළුම කපා ඉවත් කොට විවිධ කුලී වැඩ කරමින් තනි කකුලෙන් ගස්වල නැඟ අඹ කැඩීම, ගල් සියඹලා කැඩීම, කැලෑවේ ගොස් මොර කැඩී, කෙසෙල් කැන් කැපීම ආදී රැකියාවලින් මුදල් හරිහම්බ කිරීමට සමත් විය. ඔවුන්ටම කියා හිසට සෙවණක් සාදා ගන්නට සමත් වෙමින් කුඩාවට කාමර දෙකක් ද සාදා දරුවන්ගේ අනාගතය සරි කිරීමට මෙම යුවළ රැයක් දවාලක් නොබලා හරි හරියට වෙහෙසුණේ කිසිම කෙනකුට බරක් නොවෙමිනි. ඇතැම් දිනවල මෙම අඹුසැමි යුවළම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් සොයන්නට විවිධ ප්‍රදේශවලට ගොස් අඹ ගස් කුලියට ගෙන ඒවා කඩා ඉදවා වෙළෙඳපොළට විකිණීම ද සිදු කරගෙන ගොස් තිබේ. එසේ කුරුණෑගල ප්‍රදේශයේ විශාල අඹ ගසක අඹ කඩමින් සිටියදී ප්‍රසන්න කුමාර නැවතත් අඹ ගසෙන් ඇද වැටීම හේතුවෙන් මේ වන විට පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ඇත. දෛවෝපගත අයුරින් තම සැමියා මුහුණ දුන් භයංකර අනතුර සංජීවනී දකින්නේ තම පවුලේ අනාගතය ඇස් ඉදිරියේම අඳුරට පත්වන ආකාරය චිත්‍රපට රූප පෙළක් සේ එක පිට මැවෙද්දීය.
ඔහු මේ වන විට මුඛය විවර කොට ආහාර වේලක්වත් ලබා ගත නොහැකි තත්ත්වයට පත්ව තිබේ. ඔහු ඉල්ලා සිටින්නේ අඩුම තරමේ රෝද පුටුවක් හෝ ප්‍රතිකාර ගැනීමට මුදලක් ලබා දීමට කිසිවකු හෝ කාරුණික වන ලෙසයි. තමන්ගේ පූර්ණ ආබාධිත තත්ත්වය නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වෙමින් පවතින බව ඔහු සිහිපත් කරන්නේ දැඩි කනස්සල්ලෙනි.
රජයෙන් ලැබෙන ආබාධිත දීමනාව, සමෘද්ධි සහනාධාරය හෝ කිසිදු සහනාධාර වැඩපිළිවෙළක් මෙම පවුලේ උදවිය වෙනුවෙන් ලැබෙන්නේ ද නැත.
මේ වන විට ඔවුන්ගේ කුස පිරෙන්නේ දිනකට එක වේලකින් පමණි. මේ වන විට ඔවුන්ගේ මූලික බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ සැමියා සුවපත් කර ගැනීමයි සංජීවනී කියා සිටින්නේ, තමන්ට ස්වයං රැකියාවක් හෝ කර ගැනීමට කාගේ හෝ උදව්වක් ලැබෙන්නේ නම් තම සැමියා සහ දරු තිදෙනා ජීවත් කරවීමේ ශක්තිය තමාට තිබෙන බවයි.
කවුරුන් හෝ මෙම අසරණ පවුල වෙත උදව් කරන්නේ නම් ඔවුන්ගේ ලිපිනය එම්.එස්. ප්‍රසන්න කුමාර, පිබිදුනුගම, බඹරගස්වැව, ගලේවෙල වේ. දුරකථන අංකය 076 8458120. ගලේවෙල මහජන බැංකු ශාඛාවේ සර්ධා සංජීවනී නමින් ඇති ගිණුම් අංක 115 2 001 8 000 6898ඔස්සේ ද ඔවුන්ට උපකාරයක් විය හැකිය.
සීගිරිය විශේෂ
නව අදහස දක්වන්න