පිත්තල හන්දියේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වසර දාහතරක් බන්ධනාගාරගතව සිට, එහිදී ග්‍රන්ථ ගණනාවක් රචනා කර පසුගියදා නිදහස ලැබූ සිවලිංගම් අරූරන් පෙරේදා (18) බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා හමු විය.
හිටපු ජනාධිපතිවරයකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ පිත්තල හන්දියේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට පත් වී, බන්ධනාගාර ගත වූ ඔහු බන්ධනාගාර ගතව සිටි කාලයේ ලේඛකයකු ලෙස සිය කුසලතා දියුණු කර ගත්තේය. එම කාලයේදී දමිළ භාෂාවෙන් කෘති හතක් ද ඉංග්‍රීසි භාෂාවෙන් කෘතියක් ද රචනා කර තිබේ.
2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී හොඳම දෙමළ නවකතාව ලෙස සම්මානයට පත් වූයේ ඔහු විසින් රචිත 'ආදුරසාලයි' නවකතාවයි. ඊට අමතරව 2016දී හොඳම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද ඔහු විසින් හිමි කරගනු ලැබීය.
මෙම ලේඛකයා නිදහස් කර ගැනීම සඳහා ජනාධිපති සමාව ඉල්ලා ඇමැති විදුර වික්‍රමනායක මහතා පසුගිය කාලයේ ජනාධිපතිවරයාට පවා ලිපි යොමු කළ අතර, සංස්කෘතික දෙපාර්තමේන්තුව ද ආරූරන් නිදහස් කර ගැනීමට උත්සාහ දැරීය. 2004 වර්ෂයේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් ලබා ගත් ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියේය. නිදහස් වන විට ඔහුගේ වයස අවුරුදු 43කි.
උපාලි කරුණාරත්න
නව අදහස දක්වන්න