දල්ලට ගැම්මක් තේමාව යටතේ දකුණේ තේ ගොවීන් දැනුම්වත් කරයි | දිනමිණ

දල්ලට ගැම්මක් තේමාව යටතේ දකුණේ තේ ගොවීන් දැනුම්වත් කරයි

දල්ලට ගැම්මක් 

දකුණේ තේ දල්ලට යහපත් කලක් උදා කරමින් ‘දල්ලට ගැම්මක්’ යන තේමාව යටතේ දකුණේ තේ ගොවීන් දැනුම්වත් කිරීම නිසා එදා තේ අක්කරයකින් කිලෝ 300ක් අස්වැන්න ගත්තත් මෙදා ස්වාභාවික පොහොර යොදා අක්කරයකින් කිලෝ 600 දක්වා ඉහළ දලු ඇස්වැන්නක් ලබා ගන්නා බව කුඩා තේ වතු හිමියෝ පවසති.

ඇල්පිටිය, පැලවත්ත බ්‍රොම්බිල් තේ කර්මාන්ත ශාලාවේ ශ්‍රවණාගාරයේදී කුඩා තේ වතු හිමියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකදී ගොවීන් දැනුම්වත් කිරීම සඳහා පැමිණි දේශකයින් එසේ අදහස් පළ කළේය. මේ අවස්ථාවට එවර්ග්‍රීන් තේ කර්මාන්ත සමූහයේ සභාපති අරුණ ද සිල්වා කළමනාකාර අධ්‍යක්ෂක සොනාල් ද සිල්වා සාමාන්‍යාධිකාරි (තේ කර්මාන්ත හා සමූහයේ) ලසන්ත ද අල්විස් (පොහොර සමාගම) සෙනරත් ගුරුගේ (ව්‍යාපෘති නිලධාරී) යන මහත්වරු ඇතුළු 200කට ආසන්න තේ පරීක්ෂකවරු හා තේ ගොවීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

එවර්ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපෘති විමර්ශන නිලධාරි සෙනරත් ගුරුගේ මහතා තේ ගොවීන්ගේ ඉඩම් සකස් කර ගැනීම, තේ වගාව පවත්වාගෙන යාම පිළිබඳ ගොවින් දැනුම්වත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

පසුගිය වසර ගණනාවක්ම දකුණේ කුඩා තේ වතු හිමියන්ගේ තේ අස්වැන්න පහත මට්ටමක තිබුණා. ඒ පො‍හොර අර්බුදයක් එක්ක. ඒ අර්බුදයට මුහුණ දෙමින් තමන් පරිසර හිතකාමී ස්වාභාවික පොහොර භාවිතය හඳුන්වා දුන්නා. තේ අස්වැන්න ඉහළ මට්ටමකට ගෙන එන්න දැන් හැකියාව ලැබී තිබෙනවා. ඊට හේතුව පරිසරයේ දිරා යාමට ලක් වන කොළරොඩු, දිරාගිය කොටස් නිසා යැයි සෙනරත් ගුරුගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එවර්ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක සොනාල් ද සිල්වා මහතා මෙසේ පවසා සිටියේය.

“පසුගිය වසර 10ක කාලයක් ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තේ වගාකරුවන්ගේ අස්වැන්න ලබා ගැනීම පහත මට්ටමක තිබුණා. එය කිලෝ 300ක් පමණ. සාමාන්‍යයෙන් තේ අක්කරයකින් දලු කිලෝ 1400 ක් ලබා ගැනීමට පුළුවන්. ප්‍රමිතිය අනුව කටයුතු කළොත් සියලුම කුඩා තේ වතු හිමියන්ට ඒ හැකියාව තිබෙනවා. ඒ දැනුම තමයි, දල්ලට ගැම්මක් යන තේමාව යටතේ වසර ගණනාවක සිට අප ක්‍රියාත්මක කරපු ව්‍යාපෘති සමඟ ලැබෙන්නේ.”

තේ අක්කරයකට වර්ග අඩි 2X4 ප්‍රමාණයේ දුරින් පැළ සිටුවීම කළොත් තේ පැළ 5000ක් අක්කරයක හිටවන්න පුළුවන්. තේ පඳුරක් වර්ග අඩි 08ක් පමණ ක්ෂේත්‍ර ඵලයක දලු ඇස්වැන්නක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉන් වර්ග අඩියකින් තේ දලු 10ක් අවම වශයෙන් ගන්න පුළුවන්. තේ දල්ලක් ග්‍රෑම් 01ක් පමණ බරයි. දලු 10ක් වර්ග අඩියකින් ලැබෙන කොට මුලු අක්කරය පුරාම ඒ වර්ග අඩි ගාණ අනුව කිලෝ ග්‍රෑම් 1400ක පමණ දලු අස්වැන්නක් ලබා ගන්න පුවවන්.

 

බලපිටිය විශේෂ - ජයකාන්ත ලියනගේ

 

නව අදහස දක්වන්න