කෝටි තුනේ සැප රිය කුලියට අරන් පාතාල කෙරුමෙකුගේ කොම්පැනියකට උකස් කරලා | දිනමිණ

කෝටි තුනේ සැප රිය කුලියට අරන් පාතාල කෙරුමෙකුගේ කොම්පැනියකට උකස් කරලා

ව්‍යාපාරික ආයතන රැසක කළමනාකාර අධ්‍යක්ෂිකාවක වන කාන්තාවකට අයත් රුපියල් කෝටි 3ක් වටිනා ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 4 බැගින් මාසික කුලියට ගත් පුද්ගලයකු එය කොළඹ මත්කුඩු ජාලයේ ප්‍රබල පාතාල අපරාධකරුවකුට අයත් බව කියන මූල්‍ය ආයතනයකට රුපියල් ලක්ෂ 28කට උකස් කර තිබියදී බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් පෙරේදා (17) සොයාගෙන තිබේ.

ඒ මෝටර් රථය උකස් ආයතනය විසින් ඔවුන්ගේ හිතවතකුට කතරගම වන්දනාවේ යෑමට දී ඇති බවත්, මෝටර් රථය පොලිස් භාරයට ගන්නේ කතරගම තිබියදී බවත් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. රාජගිරිය බුත්ගමුව පාරේ නිවාස සංකීර්ණයක පදිංචි ව්‍යාපාරික කාන්තාව මේ මෝටර් රථය රුපියල් ලක්ෂ 4ක මුදලකට කුලියට දී ඇත්තේ ඩිල්ෂාර්ඩ් නමැති අයෙකුටය. ඒ මාස 3කට පෙරය. ඇගෙන් කුලියට ගත් එම මෝටර් ඔහු විසින් නුගේගොඩ පදිංචි අෂාන් නැමැති ව්‍යාපාරිකයකුට කුලියට දී ඇත්තේ රුපියල් පන් ලක්ෂ පහළොස් දහසකටය. ඒ එක්ලක්ෂ පහළොස් දහසක ලාභයක් මසකට ඔහුට ලැබෙන ආකාරයටය.

කොළඹ පාතාල අපරාධකරුට අයත් බව කියන මූල්‍ය ආයතනයේ මේ මෝටර් රථය රුපියල් ලක්ෂ 28කට උකස් කර ඇත්තේ අෂාන් නමැති නව්‍යාපාරිකයා විසිනි. මෙම මෝටර් රථයේ ජී.පී.එස්. සවිකර ඇති බවත් මෝටර් රථය පන ගන්වන විට එම ජී.පී.එස්. ක්‍රියාත්මක වන බවත් පොලීසිය කියයි. මූල්‍ය ආයතනයේ තිබුණු මෝටර් රථය පණ ගන්වා කතරගම බලා ධාවනය වෙමින් තිබියදී එහි ජී.පී.එස්. ක්‍රියාත්මක වීමත් සමඟ මෝටර් රථයේ හිමිකාරිනිය ඒ බව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් දැනුම්වත්කර ඇති බවත් ඒ අනුව එම රථයේ ගමන් මඟ පන්නමින් ගොස් කතරගමදි මෝටර් රථය සිය භාරයට ගත් බවත් පොලිසිය කියයි.

මෙම මෝටර් රථය රුපියල් ලක්ෂ 28ක මුදලකට උකස් කළ ව්‍යාපාරිකයා බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයට පැමිණ භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න