එක්ලක්ෂ අනූදාහක් වටිනා ඌරන් දෙදෙනකු සොරකම් කළ තුන් දෙනෙක් අත්අඩංගු වට | දිනමිණ

එක්ලක්ෂ අනූදාහක් වටිනා ඌරන් දෙදෙනකු සොරකම් කළ තුන් දෙනෙක් අත්අඩංගු වට

කහටගස්දිගිලිය, කහටගොල්ලෑව ප්‍රදේශයේ ඌරු කොටුවක සිටි රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ඌරන් දෙදෙනකු සොරකම් කළ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සීප්පුකුලම, සමාධිගම සහ රන්පත්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකි.

ඌරු කොටුවක් පවත්වාගෙන යමින් ජීවිකාව ගෙන යන කහටගස්දිගිලිය කහටගොල්ලෑව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. තම ඌරු කොටුව තුළ ඌරන් 7 දෙනෙකු සිටි බවත්, 5 දෙනෙකු කොටුව තුළ නිදැල්ලේ සිටි බවත්, තවත් ඌරන් දෙදෙනෙකු වෙනම කොටු කර සිටි බවත් එසේ කොටු කර සිටි ඌරන් දෙදෙනා සොරකම් කර රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ල ලැබී තිබූ බව පොලිසිය පවසයි. තමන් ඌරු කොටුවට උදෑසන ගොස් කෑම සහ ජලය ලබාදී, යළි පස්වරුවේ ගොස් බැලූ අවස්ථාවේදී, ලේ පැල්ලම් කීපයක් දැක සිදු කළ පරීක්ෂාවකදී එම ඌරන් දෙදෙනා නොමැති බවත් සඳහන් කරමින් මෙම පැමිණිල්ල කර ඇත. සොරකම් කර ඇති එක ඌරෙක් කිලෝ 70ක් පමණ බර බවත් මෙම සතුන් දෙදෙනාගේ වටිනාකම රුපියල් එක්ලක්ෂ අනූහය දාහක් පමණ වන බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අනුරාධපුර සංචාරක - සශිනි මධුෂානි

නව අදහස දක්වන්න