මීරිගම යතුරුපැදි රේසින් ධාවන පථයට ප්‍රාදේශීය සභාවේ අවසරයක් නෑ | දිනමිණ

මීරිගම යතුරුපැදි රේසින් ධාවන පථයට ප්‍රාදේශීය සභාවේ අවසරයක් නෑ

මීරිගම ප්‍රාදේශීය සභාවේ අවසරයක් නොමැතිව ගම්වාසී ජනතාව දැඩි පීඩාවකට පත් කරමින් මීරිගම හකුරුකුඹුර ගම්මානයේ පවත්වාගෙන යන යතුරුපැදි රේසින් ධාවන පථයක් පිළිබඳව කරුණු විමසීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරයා කැඳවීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (18) පස්වරුවේ නියෝග කළේය.

මීරිගම හකුරුකුඹුර ගම්මානයේ පදිංචි පොදු ජනතාව පීඩාවට පත් කරමින් නීති විරෝධීව යතුරුපැදි රේසින් ධාවන පථයක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් මීරිගම පොලිසිය විසින් මහජන පීඩාව යටතේ නඩුවක් පවරා ඇත.

එම නඩුව පෙරේදා (18) පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ මීරිගම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන ආදායම් පරිපාලක නිලධාරී දීප්ති චන්දන ගම්ලත් මහතා සාක්ෂි දෙමින් මීරිගම හකුරුකුඹුර ගම්මානයේ පවත්වා ගෙන යන යතුරුපැදි රේසින් ධාවන පථය මීරිගම ප්‍රාදේශීය සභාවේ කිසිදු අවසරයක් ලබාගෙන නොමැතිව නීති විරෝධීව පවත්වාගෙන යන බව පවසා සිටියේය.

අඩුම තරමින් අවසර ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයක්වත් ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කර නැති බවද ඒ මහතා වැඩිදුරටත් සාක්ෂි දෙමින් පවසා සිටියේය.

පෙර දිනයේ මධ්‍යම පරිසර අධිකාරියට ද අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙසට දන්වා නොතීසි යවා තිබූ අතර, ඒ අනුව එම අධිකාරිය නියෝජනය කරමින් නීතිඥ ක්‍රිෂාන්ති හෙන්නායක මහත්මිය කරුණු දක්වමින් රේසින් ධාවන පථ වැනි දේවල් පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තා ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නොමැති නමුත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනවලට පරීක්ෂණ කටයුතු සඳහා සහාය ලබා දීමට මධ්‍යම පරිසර අධිකාරියට හැකියාවක් ඇති බව පවසා සිටියේය.

මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරයා ඊළඟ දිනයේ ස්ථිර වශයෙන්ම අධිකරණය ඉදිරියේ පෙනී සිටින බවද නීතිඥවරිය වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියේය.

මේ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් අධ්‍යක්ෂක වරයා හා කාර්මික තාක්ෂණ ආයතනයේ ප්‍රධාන නිලධාරියෙකු ඊළඟ දිනයේ අධිකරණයට කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම නඩුව නැවත කැඳවීම ජුනි මස 01 වනදාට කල් තැබිණ.

 

වේයන්ගොඩ විශේෂ

නව අදහස දක්වන්න