පහරදුන් පෙම්වතා එළඹෙන 30 වැනිදා දක්වා රිමාන්ඩ් | දිනමිණ

පහරදුන් පෙම්වතා එළඹෙන 30 වැනිදා දක්වා රිමාන්ඩ්

  • පැහැරගත් ත්‍රීවීලරයේ රියැදුරුට ලක්ෂ දෙකක ශරීර ඇප
  • පැරණි පෙම්වතිය ත්‍රීවිලරයකින් පැහැර ගෙන ගොස් වෙනත් විවාහයක් කර නොගන්නා ලෙස හිටපු පෙම්වතා පහරදීලා

මහ පාරේ පයින් ගමන් කරමින් සිටි පැරණි පෙම්වතියව ත්‍රීවිලයකින් පැහැර ගෙන ගොස්

පහරදී නැවත පැහැර ගත් ස්ථානයට ගෙනවිත් ඇරළු පැමිණිලිකාර පෙම්වතියගේ පැරණි පෙම්වතාව එළඹෙන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී.තේනබදු මහත්මිය පෙරේදා 18 වැනිදා පස්වරුවේ නියම කළේය.

දිවුලපිටිය, නැ/ පල්ලියපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන දිනේෂ් ප්‍රිය සංඛ ධර්මරත්න නැමැති සැකකරුව මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

සැකකරු සමඟ අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු ත්‍රීවීල්යේ රියැදුරු වු ජනක චමින්ද අල්විස් නමැති සැකකරුව දැඩි ඇප කොන්දේසි සහිතව රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදාහැර ඇත.

පැමිණිලිකාරිය වසරක පමණ කාලයක් සැකකාර පෙම්වතා සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බව අධිකරණයේදී සඳහන් විය. සැකකාර පෙම්වතා මත්ද්‍රව්‍ය සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් භාරයට පත් වීමෙන් අනතුරුව පැමිණිලිකාරිය පෙම් සම්බන්ධතාවය නවතා ඇති බව පොලිසිය පවසයි. ඊට උරණ වූ සැකකාර පෙම්වතා මිතුරකු සමඟ ත්‍රීවිල් රථයකින් පැමිණ මරදගහමුල, නෙල්ලිගහමුල ප්‍රදේශයේදී පැමිණිලිකාර තරුණිය ව පැහැරගෙන ගොස් අලුතැපොළ ප්‍රදේශයේ නිවසක මිදුලට රැගෙන ගොස් වෙනත් අයෙකුව විවාහ කර නොගන්නා ලෙස බලකරමින් සහ තර්ජනය කරමින්

පහරදී ඇති බව දිවුලපිටිය පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය. ත්‍රීවිලයේ රියදුරු ගේ සහ අලුතැපොළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ගේ බලකිරීම් මත සැකකරු පැහැර ගත් පැමිණිලිකාර තරුණියව නැවත ත්‍රීවිලයෙන් පැහැර ගත් ස්ථානයට ගෙනවිත් දමා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පැමිණිල්ල මෙහෙයවමින් දිවුලපිටිය පොලිසියේ උප පොලිස් පරීක්ෂක ජී.කේ.සුබසිංහ නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය. තරුණිය පැහැර ගැනීමට උපයෝගී කරගත් ත්‍රීවිලය දිවුලපිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

ගම්පහ සමූහ - ටෝනි කරුණානායක

නව අදහස දක්වන්න