ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් පෙන්නමින් ආණ්ඩුව ජනතාව අන්දනවා | දිනමිණ

ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් පෙන්නමින් ආණ්ඩුව ජනතාව අන්දනවා

ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් ගැන කියමින් ආණ්ඩුව නැවතත් ජනතාව අන්දවමින් සිටින්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දේශීය ණය සඳහා ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු නොවන අතර, සිදු වන්නේ ප්‍රශස්තකරණයක් බවත් ඒ අනුව වර්තමාන රජය ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ වචන හරබයක නිරතව සිටින බවත් විපක්ෂ නායකවරයා කීවේය. ඒ මහතා මේ බව කියා සිටියේ පෙරේදා (18) ලංකාවේ බැංකු පද්ධතිය නියෝජනය කරන්නන් සමඟ පැවඑති සාකච්ඡාවකට එක් වෙමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පාර්ලිමේන්තුවට සහ රටට විවෘත කරන ලෙස තමා ඇතුළු පිරිස පැවසූ බවත්, එවැනි ගිවිසුමකට යෑමට පෙර සෑම දේශපාලන පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ස්ථීර විසඳුමක් සොයා ගැනීම සිදු විය යුතු වුවත් අප රටේ පාලකයන් සිදු කර ඇත්තේ ප්‍රමාද වී අයිඑම්එෆ් එකට ගොස් අසාර්ථකම සාකච්ඡාවක සහ ගිවිසුමකට එළැඹීම බවද විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. එහි ඵලවිපාක මේ වන විට ජනතාව බුක්ති විඳිමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුහුරු සාකච්ඡාවක් හා හොඳ ගිවිසුමකට එළඹෙන ලෙස අවස්ථා ගණනාවකදී සමඟි ජන බලවේගය ප්‍රකාශ කළත්, ඒ කිසිවක් වත්මන් රජය ගණන් නොගත් බවත් ඔවුන් හොඳටම කරනවා යැයි පුරසාරම් දොඩවමින් කටයුතු කළ බවත් එහි අහිතකර ප්‍රතිවිපාක ජනතාවට අත්විදීමට සිදුව ඇති යැයිද විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යූහගත කිරිම ක්‍රියාත්මක කළොත් ආර්ථිකය, බැංකු පද්ධතිය හා ලක්ෂ 220ම තවත් අසරණ වී රට විනාශ වන්නේ යැයිද විපක්ෂනායකවරයා පැවසීය. මෙය රාජ්‍ය ප්‍රතිපත්තියක් නොවිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජය විසින් ජනතාවට විවිධ ඇස්බැන්දුම් ඉදිරිපත් කරමින් මේ ආකාරයෙන් කටයුතු කළ හොත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති වුවත් ජන බලයක් යටතේ නැඟී සිටින බවත් පැවසීය.

 

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න