නෞකා අනතුරෙන් අගතියට පත්වූවන්ට වන්දි මුදල් ලබාදීම අවහිර කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා | දිනමිණ

නෞකා අනතුරෙන් අගතියට පත්වූවන්ට වන්දි මුදල් ලබාදීම අවහිර කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා

නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් ආර්ථික අපහසුතාවට පත් ධීවරයන්ට වන්දි මුදල් ලබා දීම කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ නැති දේවල් මවා පා ගැටලු ඇතිකර ගතහොත් ලැබීමට තිබෙන වන්දි මුදල් නොලැබී යෑමේ අවදානමක් පවතින බවයි.

එබැවින් සියලුම දෙනා එකමුතුව එකට සිට කටයුතු කරමින් මේ ප්‍රශ්නය ජය ගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.

මෙරට මුහුදු තීරයේදී ගිනිගෙන විනාශයට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් ආර්ථික අපහසුතාවට පත් ධීවර ප්‍රජාවට වන්දි මුදල් ලබා දීමේ අවස්ථාවට පසුගියදා (17) එක්වෙමින් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ අදහස් පළ කළේය.

මේ නෞකා අනතුර හේතුවෙන් අගතියට පත් ධීවර ප්‍රජාවට අංශ 27ක් යටතේ අදියර තුනකට මේ වන විට රුපියල් මිලියන 1000ක පමණ වන්දි මුදලක් ලබා දී ඇත. මෙවර ලබා දෙන්නේ සිවුවැනි අදියරේ වන්දි මුදල්ය. මෙහිදී නෞකා අනතුර හේතුවෙන් අගතියට පත් ධීවරයන් 300කට ඇමැතිවරයා විසින් වන්දි මුදල් ප්‍රදානය කරනු ලැබීය. මීගමුව නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැති එම උත්සවයේදී ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද පැවසීය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙකෙන් මෙරට පරිසරයට වූ හානිය අතිවිශාලයි. නෞකා අනතුරු අපට අලුත් අත්දැකීමක්. ඒ නිසා නිව් ඩයමන්ඩ් නෞකා අනතුර සම්බන්ධයෙන් රජයට ලැබිය යුතු වන්දි මුදල් අපට ගන්න අපහසු වුණා. නමුත් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් ආර්ථික අපහසුතාවට පත් කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ට පිහිට වෙන්න අපට පුළුවන් වුණා. මේ වන්දි මුදල් ලැබෙන්නේ රජයේ මැදිහත් වීමෙනුයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීම නිසා ධීවර ජනතාවට මෙන්ම මෙරට වෙරළ පරිසරයටත් විශාල විනාශයක් වුණා. විශේෂයෙන්ම මේ සිදුවීම නිසා ධීවර ප්‍රජාවට මෙන්ම වෙරළාශ්‍රිත ජනතාවගේත් ජීවනෝපායට දැඩි බලපෑමක් එල්ල වුණා. ඔවුන්ගේ ජීවන තත්ත්වයට යම් තරමකින් හෝ සවියක් වන්නට රජය විසින් වන්දි මුදල් දෙනවා. කාලයක් වන්දි මුදල් නොලැබීම ගැන කතා වුණා. මේ වන විට ධීවරයින් 1000ට ආසන්න පිරිසකට වන්දි දී තිබෙනවා. මේ මුදල් ඔබට දෙන්න රජය විශාල මහන්සියක් දරනවා. වන්දි මුදල් ගන්න එන්න කියපු සමහරු අද ඇවිල්ලා නැහැ. එය කනගාටුවට කරුණක් බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

මේ නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කරන මීපා ආයතනය තියෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේයි. ඒ ආයතනයේ උපදේශක මණ්ඩලයක් මඟින් අපි තොරතුරු ගන්නවා. කලින් හිටපු අලි සබ්රි ඇමැතිවරයා හා වර්තමානයේ අධිකරණ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන විජයදාස රාජපක්ෂ මහතාත් මේ වන්දි මුදල් ලබා ගැනීමට වෙහෙස මහන්සි වෙලා වැඩ කළා.

 

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න