වයස 18දී මංගල තරගයත් 18වැනිදා
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි තමන් පැලඳ සිටින ජර්සියේ පිටුපස කොටා ඇති අංක 18 සම්බන්ධ වූ ගැඹුරු වැදගත්කම ඊයේ හෙළි කළේය. ඔහුගේ අතිවිශිෂ්ට ක්‍රිකට් දිවිය පුරා වාර්තා සහ ඇගැයීම් රාශියක් ලබා ඇති අතර 18 අංක සහිත ජර්සිය පැලඳ සිටින්නේ ඔහු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගත් දා සිටය.
මේ සුපිරි ක්‍රිකට් තරුව ඔහුගේ ජර්සි අංකය හා සම්බන්ධ ගැඹුරු, අද්භූත සම්බන්ධයක් හෝ වැදගත්කමක් ඇති බව විශ්වාස කරන අතර, දැන් ඔහුගේ ජර්සි අංක 18 හා ඔහුගේ නම සඳහන් ජර්සි බොහෝ අය පැලඳ සිටීම පිළිබඳ සතුටට පත්ව සිටී. ක්‍රීඩා ලෝලීන් තම නම සහ අංක 18 ඔවුන්ගේ පිටේ තබා ජර්සි පැලඳ සිටිනු දැකීම “ආශීර්වාදයක්” යැයි කෝලි පැවසීය.
“මෙම අංකය සමඟ මට විශ්වීය සම්බන්ධතාවක් තිබෙනවා. ඇත්තම කියනවා නම් අංක 18 ජර්සිය මට ලැබුණේ පළමු ඉන්දීය 19න් පහළ තරගයේදී. මට ලැබුණ ජර්සිය විවෘත කරන දුන් අංකය 18. මම කවදාවත් එය ඉල්ලුවේ නැහැ, එය මට ලබා දුන්නා. නමුත් පසුව ඒ අංකය මගේ ජීවිතයට බැඳුණු ඉතා වැදගත් අංකයක් බවට පත් වුණා. මගේ මංගල තරගය 2008 අගෝස්තු 18 වැනිදා. මගේ තාත්තා මියගිය දුක්බරම දවස 2006 දෙසැම්බර් 18 වැනිදා. ඒ අමතක නොවන සිද්ධි දෙකම වුණේ මට අවුරුදු 18දී. ඒකයි මා කියන්නේ අංක 18 මට විශ්වීය බැඳීමක් ඇති අංකයක් කියලා“ කෝලි මාධ්‍ය වෙත පැවැසීය.
කෝලි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙරේදා පැවති සන්රයිස් හයිඩ්‍රාබාද් සමඟ තරගයේදී හයේ පහර 4ක් හා හතරේ පහර 12ක් සමඟ පන්දු 63කදී ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූ හේතුවෙන් කොලිගේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 14ක් ගෙන සිවුවැනි ස්ථානයට පත් විය.
කෝලි ලබාගත් මෙම ශතකය කණ්ඩායමක් හඹා යාමේදී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග දෙකකදී ශතක දෙකක් ලබා ගත් එකම ක්‍රීඩකයා ලෙස වාර්තා විය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල වෙනුවෙන් කෝලි වාර්තා කළ හයවන ශතකය මෙය වන අතර, මීට පෙර, ක්‍රිස් ගේල් ශතක පහක් ලබා ගනිමින් එම වාර්තාවට හිමිකම් කීවේය.
ප්‍රින්ස් ගුණසේකර
නව අදහස දක්වන්න