වසර 2කට පසු හදිසියේම දිමුත් එක්දින සංචිතයට | දිනමිණ

වසර 2කට පසු හදිසියේම දිමුත් එක්දින සංචිතයට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න වසර 2කට පසු ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇත. එම කැඳවීම අනුව දිමුත් කරුණාරත්න මේ දිනවල පැවැත්වෙන එක්දින සංචිතයේ පුහුණුවීම්වලට එක්ව සිටී.

සිම්බාබ්වේහි පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා මෙන්ම ඇෆ්ගනිස්ථානයට එරෙහිව හම්බන්තොටදී පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය උදෙසා 30 කගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලික සංචිතය මේ දිනවල පුහුණුවීම් සිදුකරමින් පවතිද්දී, දිමුත් කරුණාරත්නට මෙම හදිසි කැඳවීම ලැබී ඇත.

නවසීලන්ත සංචාරයේදී ආබාධයකට ලක්ව සිටින කුසල් ජනිත් පෙරේරා දැන් සුවය ලබමින් සිටින අතර, පැතුම් නිශ්ශංක, කුසල් පෙරේරා හා තවමත් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නැති ලසිත් කෘෘස්පුල්ලේ ආරම්භක පිතිකරුවෝ ලෙස සංචිතයේ සිටිති. මේ අතරට එක්වූ දිමුත් කරුණාරත්නට එක්දින පිලේ අවස්ථාවක් ලබා දීම කෙරෙහි ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව පවතී. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මක බැවින් පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අවශ්‍යතාව සම්බන්ධයෙන් විශාල කතිකාවක් ඇතිව තිබේ.

දිමුත් කරුණාරත්න මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ වඩාත්ම දක්ෂ ටෙස්ට් පිතිකරුවා වූ නමුත් තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීමේ අවශ්‍යතා අනුව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එක්දින කණ්ඩායමෙන් ඉවතට ගියහ. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගවටයට ශ්‍රී ලංකා පිල පිවිසීමත් සමඟ ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න යන දෙදෙනාම මූලික සංචිතයට එක්කරමින් කණ්ඩායම ප්‍රබල තත්ත්වයකට ගෙන ඒමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

දිමුත් කරුණාරත්න අවසන්වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කොට ඇත්තේ 2021 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවය. එම තරගයේදී දිමුත් ලකුණු 31කට දැවී ගිය අතර, මෙතෙක් එක්දින තරග 34කදී ලකුණු සාමාන්‍ය 27. 39ක් රඳවාගෙන සිටී.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න