තුන් සංවේගය | දිනමිණ

තුන් සංවේගය

භික්ෂු වත් දරා මැනවින් ඒ සීලයේ රැඳී සිටි දොඩම්පහළ චන්දසිරි අප මහා නාහිමියෝ සිහිපත් කරමින් අද මේ තීරුව ආරම්භ කරමු. උන් වහන්සේ බඳු සැහැල්ලු ගති පැවතුම් ඇති බලකණු, මේ කාලයේ දුර්ලභය. උන් වහන්සේ සීලයේදී බලකණුවකි. ඒ දෙස බලා සතර පේරුවේ දායකයන්ට පමණක් නොව රටටම පාඩම් උගත හැක්කේය. දහම් දැනුම ද එසේමය. ඇසූ පිරූ තැන් එමටය. ඒ අතින් ද බලකණුවකි. ඒ සියල්ල දරාගත් වන ද උන් වහන්සේ කුළුණු බරය. හෙට අවසන් ගමන් වඩිනා උන්වහන්සේට, සාධු කියා දෙපා නැමද, අපිදු සමුදෙමු.

ඒ ධර්ම රත්නය දරා ගත් බුදු පුතෙකුගේ සමු ගැනීමය. ක්‍රිස්ටෝපර් පෝල් නම් අප හද පිනවූ ගායකයා ද ඊයේ සමු ගත්තේය. ඔහු ගායනා කළේ වෙනස් ආරක ගීතයන්ය. ශාස්ත්‍රීය ලෝකයේදී ඇගැයීමකට පාත්‍ර නොවුණද, ජනතාවගේ දෙතොලේ නිතර මිමිණෙන ඒ පදවැල් සරල, සුගම වහරෙන් යුක්තය.

සුනිල් ශාන්තයන්ගේ ගෝලයකු බවට ක්‍රිස්ටෝපර් පෝල් පත්වන්නේ පාසල් යුගයෙන් පසුවය. ගුරු දේව සුනිල් ශාන්තයන් ඇසුරේ සංගීතය හැදෑරු පසු ඔහු ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයෙකු ලෙස සමත් විය.

මඩකලපුවේ මුහුදු වෙරළට ගොඩගසන මුතු බෙල්ලන්, කොළඹටම ගෙනැවිත් ගෝනි ගාණට අලෙවි කරනවා දුටු බැසිල් එම්. සිල්වා ‘බෙල්ලෝ මුතු බෙල්ලෝ' ගීතය, පෝල් වෙත රචනා කර දුන්නේය. ආචාර්ය වික්ටර් රත්නායක තනු නිර්මාණය කළ ‘සුවිසල් මැඳුරක සෙවණ ලබන්නට මා පිං කර නැත්තේ...’ ගීතය සහ ‘විශ්වාසය නිදන් කෙරූ සිතක් බිඳුණු පසු’ යන ගීත ඔහු තුළින් වෙනස්ම ආරක් මතු කළේය.

මේ ජාතියේ කලාකරුවෝ මළ කල්හි විදග්ධයෝ සසල නොවෙත්. ඔහුගේ කලා සිත් විචාරය සඳහා නොපෙලෙඹෙත්. වෙනකක් තබා යම් හෙයකින් එවැනි ගායකයෙකු විචාරයට බඳුන් කරන එකා ද පාච්චල් වන්නේය. කලා පොරක් ලෙස ගොඩනැඟී ඇති පෞරුෂයට කොහෙවත් යන එකෙක් නිසා හානි කර ගන්නේ ඇයි දැයි සමහරු සිතන්නේ, ලියන්න, විචාරය කරන්න අවශ්‍ය වුවද, එහෙම හිතක් ඇති එකා ද ඒ ආශාව මෙවැනි කාරණා නිසා අත්හරින්නේය. මේ විදග්ධ කලාව නොවනවා විය හැකිය. එසේ වෙද්දී ද ජනතාව අතර රැඳි මේ නිර්මාණ උදෙසා පර්යේෂණ කළ හැකිය. ඒ ශෛලිය පිළිබඳව ද පර්යේෂණ කළ හැක්කේය. මේ මාවත වෙනස් කළ විදග්ධයන් නැත්තේ ද නොවේ. බයිලා කපිරිඤ්ඤා විමර්ශනයක් ලෙස සිය ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණයක් කළ සුනිල් ආරියරත්නයන් ඉන් එක් අයෙකි.

හැමෝම කියන්නා පාහේ වැඩියෙන්ම කුහකයෝ ඇත්තේ කලා ලෝකයේය. දෙතුන් දෙනෙක් එක තැනක රැයක් තිබ්බොත් වලියකි. ආවඩන්නේ තම ගැන්සියට පමණය. මේ නිසා සකල කලාවේම විචාර කතිකාවත දැන් අසරණ රෝගියකු බඳුය. පිළිසරණක් අහිමිව ඔහේ වැතිරී සිටියි. එක්කෝ ආවඩන කතාය. නැතිනම් ස්වයං වර්ණනාවන්ය. සමහරු විචාර ලියන්නේ පලිගන්නටය. හොඳ විචාරයක් ලියුව ද ඒවා ෆේස් බුකියෙන් එහාට යන්නේ නැත. එවැන්නක් පළ කර ගැනීමට තැනක් නැත. කඩදාසි හිඟය නිසා පත්තර ද දැන් කලා පිටු අතහැර ඇත. එවැනි කතිකාවතක් නොහෙන කල්හි කලා කෙත මේ තරම් හෝ අස්වැන්නක් ජනිත කර තිබීම සම්බන්ධයෙන් අපට සතුටුය.

කලාවට වඩා හොඳ කෙළියක් අද තිබේ. ඒ පිට්ටනියේ නොවේ. ක්‍රීඩාගාරයෙන් ද එළියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය යනු වින්ඩෝ ෂොපින් කිරීමක් බඳුය. අතේ සල්ලි නැති එකා සහ ඒ ඒ ජාතියේ බඩුවලට ආස එකා, කඩ ගානේ යන්නේ බඩු ගන්න නොවේ. බලා සැනසීමටය. දැන් වසර ගණනක සිට එය නමට නිලවරණයක් මිස, තරගයක් ඇත්තේම නැත. ක්‍රීඩා සංගම් ඇති කර, ඉතිරි ඒවා වටකර, ඡන්ද හිමියෝ සාදාගෙන තෙමේම ඡන්දයෙන් පත්වන ක්‍රමයක් එහි ඇත. ඒ කල්ලියේ අය ඉල්ලන්නේම, වැඩේ දිනලාය. වෙන කෙනෙකුට නම දිය හැකි මිස, ඒ නිලවරණයෙන් ඉදිරියට ඒමක් ඇත්තේම නැත. අර්ජුන රණතුංග වරක් කීවේ රටේ ජනාධිපති වුවද , ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වුවහොත්, හාන්සි බවය. ඒ තරමට වැඩේ සැලසුම් සහගතය. මේ විදිහට ශ්‍රී ලංකාව ක්‍රිකට් ගැහැව්වා නම් ලෝකයේ අනික් රටවල් එක පිලක් හදාගෙන, ගේමට ආවද අපි බය නැත. හැබැයි එහෙම පුළුවන් ‘බෝඩ් එකේ නිලවරණය’ පමණක් නිසා, අපි හැමදාම පරාදය.

මේවාට කියන්නේ යාවජීව සභාපතිකම් කියාය. මේ මාෆියාව බිඳින්නට බැරි නම්, මේ රටේ ආණ්ඩුව කළ යුත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ‘ඔය සෙට් එකට’ ලියාදීමය. එහෙම කළා නම් අපිට කරදරයක් නැත. වත්ත ඔහුගේ නිසා ඔහු පොල් කැඩුවද, කොස් කැඩුව ද අපිට ගාණක් නැත. හැබැයි වත්ත අප සියලු දෙනාගේ වූ කල්හි, ඒ පිරිසට තනියෙන් ගෙඩි කඩාගෙන, වත්ත ද පාළු කර දැමීමට අපට ඉඩ දිය නොහැකිය. රන්වල පදනමේ සින්දුවේ කියවෙන ආකාරයට, දැන් සිටම පොඩි එකාට ඉගැන්විය යුත්තේ ‘බෝඩ් එකට කොහොම හරි පැන ගන්න’ කියාය. රට සවාරි ද නිළි සෆාරි ද ආදී ලෙස සියලු පස් පව්, පහසුවෙන් ඒ බෝඩ් එකෙන් සපයා ගත හැකිය. කාගෙන් අහන්න ද කියා වගක් නැත. එක දිගට දූෂණ හෙළිවූවාට වගේ වගක් නැත. වැරදිකාරයෙක් වූ අයෙක් නැත. විමර්ශන කමිටු වාර්තා තිබුණ ද ඒවා අපේ කේන්තිය පිරිමසා මිස, බරට විකුණනවා හැර අන් යමක් කළ නොහැකිය. එහෙම හිතුවාම ‘මැච් පරදින්න පරදින්න සභාපතිකමට ඉල්ලන එකා ද, කවුරු ඉල්ලුවත් ඒ කල්ලිය දිනන බව දැන දැනම ක්‍රිකට් නිලවරණයට ඉල්ලන එකා ද’ මෝඩයෝය. මේ මෝඩකම් නැති කර දැමීමට ක්‍රීඩා ඇමැතිකමට නොහැකිය. ආපු හැම ඇමැතියෙක්ම බෝඩ් එකට මුහුණ දුන්නේ වකාර් යුනුස්ගේ බෝලයට ‘අන්ඩර් ෆිෆ්ටීන් එවුන් ෆේස් කරන්නා’ සේය. මේ නිසා නාහිමිගේ අපවත්වීම, ක්‍රිස්ටෝපර් පෝල්ගේ නික්ම යෑම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පවතින තත්ත්වය පිළිබඳව සංවේගයෙන් යුක්තව ‘අද තරගය නිමා කරමු’.

නව අදහස දක්වන්න