මුදලිගේට කොටුවෙන් වරෙන්තු; මහරින් ඇප | දිනමිණ

මුදලිගේට කොටුවෙන් වරෙන්තු; මහරින් ඇප

 

 


අයුතු ජන රාශියක සාමාජිකයකු ලෙස සිටිමින් රජයේ දේපළවලට හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දී තුවාල සිදු කිරීම පිළිබඳ නඩුවක් විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන අයට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (19) වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග කළේය.

පසුගිය වසරේ ජූනි 9 දා සිදු කළ උද්ඝෝෂණයේදී ගිලන් රථයකට ගමන් කිරීමට ඉඩ නොදී මාර්ග හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති සැකකාර වසන්ත මුදලිගේ යන අයට එරෙහිව ඇති නඩුව කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී සිටියේ නැත.

සැකකරු සහ සිද්ධිය සම්බන්ධයෙන් වන සීසීටීවී දර්ශන නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව කොටුව අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය. ඇපකරුවන්ට නොතීසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා සැප්තැම්බර් 15 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය. මේ අතර පෙරේදා පැවැති විරෝධතාවයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 08 දෙනා මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (19) ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණි.

 

සුභාෂිණී සේනානායක

නව අදහස දක්වන්න