අපේ ආර්ථිකය කඩා වැටුණේ වැරදි සුබසාධන ආර්ථික ක්‍රමයෙන් | දිනමිණ

අපේ ආර්ථිකය කඩා වැටුණේ වැරදි සුබසාධන ආර්ථික ක්‍රමයෙන්

ආචාර්ය තිස්ස රවින්ද පෙරේරා

අංශාධිපති කළමනාකරණ සහ සංවිධාන අධ්‍යයන අංශය කළමනාකරණ සහ මූල්‍ය පීඨය කොළඹ විශ්වවිද්‍යාලය

  • රට සංවර්ධනය කරන්න ජනතාවගේ පෙළ ගැසීම අවශ්‍යයි
  • දේශපාලකයා කියන්නේ ජනතාවගේ ප්‍රතිබිම්බයක්
  • රාජ්‍ය හා පෞද්ගලික අංශවල අකාර්යක්ෂමතා මඟහරවා ගන්න ඕනෑ

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ විවිධ විද්වත්තු විසින් විවිධ මත ඉදිරිපත් කරති. එහිදී එමඟින් එක් පසෙකින් විවිධ පාර්ශ්වයන්ට චෝදනා එල්ල වේ. ඒ අතරම තවත් පසෙකින් අර්බුදයට විසඳුම් යෝජනා ද ගෙන එයි. මේ කරුණු ඔස්සේ ජනතාවගේ නිසි පෙළ ගැස්වීමත්, ඉදිරි මැතිවරණවලදී රටෙහි පාලකයන් බුද්ධිමත්ව තෝරා ගැනීමක් තුළින් රට සංවර්ධිත දේශයක් කරා ගෙන යාමට මාර්ගයක් බිහි වනු ඇත. මේ කරුණු කාරණා සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ අංශාධිපති ආචාර්ය තිස්ස රවින්ද පෙරේරා මහතා සමඟ සිදු කළ සංවාදයකි මේ.

 ශ්‍රී ලංකාව ආර්ථිකමය, සමාජමය, සංස්කෘතික හා දේශපාලනික වශයෙන් කඩා වැටුණේ ඇයි ?

ශ්‍රී ලංකාව අද තියෙන තත්ත්වය දෙස බොහෝ දෙනා දකින්නේ මේක ආර්ථික අර්බුදයක් හෝ දේශපාලන අර්බුදයක් කියලයි. එය දේශපාලනික හා ආර්ථික කඩා වැටීමක් කියලා මම නම් එය පෞද්ගලිකව ලඝු කරන්නේ නෑ. මෙය ඇත්ත වශයෙන්ම අපට හතර කෝණයකින් කියන්න පුළුවන්. ආර්ථික, සමාජ, දේශපාලන හා සංස්කෘතික වශයෙන් බිඳ වැටීමක් තියෙනවා. මේ සියලු කරුණු කාරණා හතර ඇතුළේ සිට ශ්‍රී ලංකාවේ අර්බුදය කතා කරන්න පුළුවන්. එතකොට මේ අර්බුදය පටන් ගත්තේ පහුගිය ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ බව බොහෝ පිරිස් විසින් ප්‍රකාශ කරනු ලබනවා. ඇත්ත වශයෙන්ම මේ එසේ නිර්මාණය වූ අර්බුදයක් නෙවෙයි. මේක එක පුද්ගලයකුට සම්බන්ධ කිරීමට බැහැ.

සමස්ත වශයෙන් සියලු ජනතාවම සහ සියලු දේශපාලන ව්‍යාපාර මේ ඇති වී තිබෙන තත්ත්වයට වග කියන්න ඕනි. 1948 අපිට නිදහස ලැබෙනවාත් සමඟ කවුරුත් දන්න දෙයක් තමයි, ආසියාවෙ මුතු ඇටය ශ්‍රී ලංකාව කියලා. ශ්‍රී ලංකාවට ආර්ථිකයක් හා සමාජ සංස්කෘතික හොඳ පසුබිමක් ඒ කාලේ තිබුණ නිසා ශ්‍රී ලංකාව එම නමින් හැඳින්වූවා. විදේශිකයන් ශ්‍රී ලංකාවෙන් යාමේ දී ඔවුන්ට විශ්වාසයක් තිබුණා ශ්‍රී ලංකාව ලෝකයේ දියුණු රටවල් අතරට පැමිණෙනවා කියලා.

ඒ කාලේ ශ්‍රී ලංකාව ආසියාවේ ආර්ථිකමය වශයෙන් දෙවෙනි වුණේ ජපානයට පමණයි. ඒ විතරක් නෙවෙයි, සිංගප්පූරු ජනාධිපතිවරයා සිංගප්පූරුව ශ්‍රී ලංකාව වගේ විය යුතු බව ප්‍රකාශ කළා. නමුත්, පසුකාලීනව එම ප්‍රකාශය ජනාධිපතිවරයාට ඉවත් කර ගැනීමට සිදු වුණා. ඊට හේතුව 1948න් පසු දිගින් දිගටම රට කඩා වැටීමට පත් වීමයි.

මේ ආර්ථික අර්බුදයේ ආරම්භය කොතැන ද?

මෙහිදී සුබසාධන ආර්ථිකයේ උගුලෙන් ගැලවීමට ඇති නොහැකියාව මේ අර්බුදය ආරම්භයට මූලිකම හේතුව බව විශේෂයෙන් කියන්න ඕනෑ. මේ ආකාරයට සුබසාධනය සලසාදීම වෙන කිසිදු රටක නැහැ. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයක් තියෙනවා. මේ නිදහස් අධ්‍යාපනය ඇති හැකි සහ නැති බැරි අය දෙපාර්ශ්වයටම එක ලෙසම ලබා ගන්න පුළුවන්. එතකොට එය නිදහස් අධ්‍යාපනයක් නොවේ. මගේ පෞද්ගලික අදහස වනුයේ, ඇති හැකි අය ගෙවීම් කිරීමත් නැතිබැරි අයට උපරිම සහන ලබා දීමත් තමයි සුබ සාධනය කියන්නේ. නමුත්, මෙහිදී එහෙම වන්නේ නෑ. ඒ වගේම විදුලි මිල ඒකකයක් වැඩි මිලකට නිෂ්පාදනය කරල අඩු මිලකට ලබා දෙනවා. බඩු වැඩි මිලට නිෂ්පාදනය කර අඩු මිලට විකුණනු ලබන එකම රට ශ්‍රී ලංකාවයි. එවිට මේ වගේ ආර්ථිකයට පැවැත්මක් නෑ. ඇත්තෙන්ම මේක සුබ සාධනය නොවේ. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන සෞඛ්‍යය හැමෝටම නිදහස්. සෞඛ්‍යය ඇති හැකි හා නැති බැරි අය දෙගොල්ලොටම නොමිලේ පරිභෝජනය කිරීමට පුළුවන්. ඒ විතරක් නොවෙයි, ඉන්ධන වැඩි මිලට නිෂ්පාදනය කරලා අඩු මිලකට විකුණනවා. එය අඩු මිලකට විකුණන විට එය ඇති හැකි අය සහ නැති බැරි අයත් පරිභෝජනයට ගන්නවා. මෙම කරුණු කාරණා බලන කල මෙවන් වූ රට කොහොමද දියුණු වන්නේ යන ප්‍රශ්නය මතු වෙනවා. නැති බැරි අයට ගලා යා යුතු සුබසාධනය රටේ සිටින සමස්ත ජනයාටම ගලාගෙන යනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතුව වැරදි සුබසාධන ආර්ථික ක්‍රමය කිවවේ මේ නිසයි.

මේකට වගකියන්න ඕනෑ දේශපාලනඥයා කියන එක පොදු තර්කයක්. නමුත්, සමස්ත ක්‍රියාවලියටම වගකිව යුත්තේ දේශපාලනඥයා ද?

සමස්ත ක්‍රියාවලියට වගකිව යුත්තේ දේශපාලනඥයා නෙවෙයි. මෙයට මම මුලට ගන්නේ රටේ ජනතාවයි. දේශපාලනඥයා පත් කරනු ලබන්නේ ජනතාවයි. ජනතාව තම සංගහනය නියෝජනය කරන්න ප්‍රජාතන්ත්‍රවාදය යටතේ අප තෝරා ගනු ලබනවා. එම නියැදිය තමයි දේශපාලකයා. සංගහනයේ තිබෙන අඩු පාඩු දුර්වලතා නියැදිය තුළ පෙනෙන්නට තියෙනවා .ජනතාවගේම කොටසක් වන දේශපාලකයා තුළ ඔවුන්ගේ ස්වභාවය දකින්න පුළුවන්. ජනතාව අදූරදර්ශී නම්, දේශපාලකයා ද අදූරදර්ශී වෙනවා. ජනතාව මුදල් ගසා කනවා නම්, ඔවුන් අතරින් පැමිණෙන දේශපාලකයා ද එසේම වෙනවා. ජනතාව බුද්ධිමත් නම්, ඔවුන් තෝරන ලද දේශපාලකයා ද බුද්ධිමත් වෙනවා. ජනතාව නිවැරදි වුවහොත් දේශපාලකයා නිවැරදි වෙනවා. සරලව කිවහොත් දේශපාලකයා කියන්නේ ජනතාවගේ ප්‍රතිබිම්බයක්.

අපේ රට සංවර්ධිත රටක් දක්වා ගෙන යන්න පුළුවන් ද?

ඔව්. මේ රට සංවර්ධිත රටක් දක්වා ගෙන යන්න පුළුවන්. විශේෂයෙන් රටේ නිලධාරී පන්තියේ පෙළ ගැසීමක් අවශ්‍ය වෙනවා. ජනතාවගේ පෙළ ගැසීමක් අවශ්‍ය වෙනවා. අවසාන තීරණ ලබා ලබා ගන්නේ දේශපාලකයා නෙවෙයි. එම තීරණ ගැනීමට පදනම සකස් කරනු ලබන්නේ ජනතාවයි. දේශපාලකයාට තීරණ ලබා ගැනීමට බල පත්‍රය ලබා දෙනුයේ ජනතාවයි.

එම නිසා මෙම රට සංවර්ධිත රටක් දක්වා ගෙන යන්න පුළුවන්. එහිදී ජනතාවගේ නිවැරැදි පෙළ ගැසීමක් අවශ්‍ය වෙනවා. එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශවල තිබෙන අකාර්යක්ෂමතාවය මඟහරවා ගෙන තම තමන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතුයි.

බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි පෞද්ගලික අංශය කාර්යක්ෂමයි රාජ්‍ය අංශය අකාර්යක්ෂමයි කියලා. 1977 වන තුරා අපි රාජ්‍ය අංශය ගැන විශ්වාසය තැබුවා. නමුත්, එය අසාර්ථක වුණා. 1977 රජය විවෘත ආර්ථිකය ගෙන ඒමත් සමඟ රට සංවර්ධනය කිරීමේ වගකීම පුද්ගලික අංශයට භාර කළා. එම පිරිස් අතින් එම ක්‍රියාවලිය සාර්ථක වූවා නම්, අද වන විට මෙය සංවර්ධිත රටක්.

රජයේ ඉලක්කය වන්නේ, 2048ට පෙර රට සංවර්ධනය කළ හැකියි කියලා. නමුත්, එයට ජනතාවගේ නිසි පෙළ ගැසීමක් අවශ්‍ය වෙනවා. එහි පෙළ ගැසීම තුළින් දේශපාලකයා නිසි ලෙස තෝරා ගත යුතුයි. එමෙන්ම රාජ්‍ය නිලධාරි පැළැන්තියේ අවංක සේවයක් අවශ්‍ය වෙනවා.පෞද්ගලික අංශ ද තම වගකීම් ඉටු කිරීමට පෙළ ගැසිය යුතුයි. මෙවන් වූ කාරණා එකට එකතු වූ විට අපට දේශපාලකයන් නිවැරදි මඟට ගනිමින් රට නිවැරැදි මාවතකට ගෙන යන්න පුළුවන්. අද රට නිසි මාවතකට යොමු වෙලා තියෙනවා. 2025 වර්ෂය ආරම්භයේ දී පමණ අපට මෙම ක්‍රියාවලියේ ධනාත්මක පැතිකඩක් දැක ගන්න පුළුවන් වේවි.

අපේ රට සංවර්ධනය කළ හැකි කාර්යක්ෂම ක්‍රියාමාර්ග මොනවා ද?

අපේ රට සංවර්ධනය කළ හැකි ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. වෛරය සහ බොරු පතුරන මාක්ස්වාදීන් යම් පාලනයකට නතු කරන්න ඕනෑ. දෙවැනි පියවර, දේශපාලන පක්ෂවලට බද්ධ අප රටේ තිබෙන වෘත්තීය සමිති දැඩි ලෙස පාලනයකට ලක් කරන්න ඕනෑ.

ඉහත කරුණුවලට අමතරව රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, දේශීය නිෂ්පාදන මත පදනම් වුණු ආර්ථිකය දියුණු කිරීම, විදේශ සේවා නියුක්තිය වර්ධනය කිරීම, පාඩු ලබන ආයතන ලාභ ලබන ව්‍යාපාර කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම, ආනයන මත පදනම් වුණු, ආර්ථිකය, අපනයන මත පදනම් වුණු ආර්ථිකයක් ඇති කිරීම වැනි තීරණ රජය ගත යුතුයි. එවිට ශ්‍රී ලංකාව සංවර්ධන මාවතට පහසුවෙන් ගෙන යන්න පුළුවන්. මේ කරුණු ඒ ආකාරයට සිදු කර ගත්තොත් 2048 පෙර අපේ රට සුවිශේෂී රටක් දක්වා සංවර්ධනය කර ගන්න පුළුවන්.

දැන් මේ පවතින රජය ගෙන යන වැඩපිළිවෙළ මඟින් සංවර්ධිත රටක් දක්වා ගෙනයාමට හැකි වෙයි ද?

ක්‍රම දෙකක් තියෙනවා.එක ක්‍රමයක් ලෙස දේශීය යන්ත්‍රණයක් මඟින් රට සංවර්ධනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය උත්සාහ කළා. නමුත්, එය අසාර්ථක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා බවට පත් වුණා. ඔහු නව ලිබරල් බාහිර පාර්ශ්වයන් කෙරෙහි විශ්වාසය තබමින් රට සංවර්ධනය කිරීමට උත්සාහ දරනවා. ඒ සඳහා ගත් ප්‍රවේශයක් ලෙස ඔවුන් සමඟ එකට කටයුතු කිරීම දක්වන්න පුළුවන්. එම ප්‍රවේශය ඉතාමත් සුබදායකයි. එමෙන්ම රජයේ අකාර්යක්ෂම ආයතන විකුණා කාර්යක්ෂම කරන අතරතුර රජයට ආදායමක් ලබා ගන්නවා.

රටේ තිබෙන ගැටලුවලට රජය ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මෙවන් වූ ආර්ථික අවපාතයකට වැටී නැවත ඉක්මනින් ගොඩ ඒමට උත්සාහ දරමින් කටයුතු කරන රටක් ලෝකයේ කොහේවත් නෑ. ආර්ථික පසුබෑමෙන් මිදීමට රජය කටයුතු කරන ආකාරය ඉතාමත් සතුටුදායකයි.

රජය ගෙන යන වැඩපිළිවෙළට වෘත්තිය සංගම් විශාල විිරෝධයක් දක්වනවා. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

වෘත්තීය සංගම් කියන්නේ වෙන රටවල වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංගම්. ඒ වගේම ඔවුන් විනය හා ආචාර ධර්ම පද්ධතියක් තුළ වැඩ කරනවා. ශ්‍රී ලංකාව තුළ වෘත්තීය සමිති කියන්නේ විවිධ දේශපාලන පක්ෂවලට වැඩ කරන විවිධ දේශපාලකයන්ගේ වුවමනාවන් ඉෂ්ට කරන දේශපාලන සංවිධාන. මෙම වෘත්තිය සංගම්වල ප්‍රතිරෝධය රජය විසින් පාලනය කළ යුතුයි.

මේ තත්ත්වය මත තව අවුරුදු දහයකින් ශ්‍රී ලංකාවේ සන්දර්භය කෙසේ වේවිද කියා ඔබට උපකල්පනය කළ හැකිද?

ශ්‍රී ලංකාව අද තිබෙන පරිපාලනය යටතේ ගත්තාම මට හිතෙනවා, 2025 අවුරුද්ද හොඳින් සැමරිය හැකි බව. නමුත්, මෙයින් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 100%ක් හොඳ දිශාවට හැරුණා කියන අර්ථය නොවෙයි. යම් මට්ටමකට අදට වඩා හොඳ තත්ත්වයක් උදාවෙයි කියලයි. ශ්‍රී ලංකාවේ බඩු මිල අඩුවීමත්, උද්ධමනය අඩු වීමත් හේතු කොටගෙන විවිධ ආකාරයට පැන නැඟුණු ගැටලු දැන් යම් තරමක් දුරට අඩු වෙලා. මේ ආකාරයෙන් කටයුතු කළොත්, ශ්‍රී ලංකාවට තව අවුරුදු දහයක් පමණ වන විට ඉතාම හොඳ තැනකට ගමන් කළ හැකි වෙනවා.

රන්දි වත්සලා සන්නිවේදන හා මාධ්‍ය ඒකකය, කැලණිය විශ්වවිද්‍යාලය.

නව අදහස දක්වන්න