‘එක්ස්ප්‍රස් පර්ල්‘ අනතුරින් අපහසුතාවයට පත් ධීවරයන්ට වන්දි | දිනමිණ

‘එක්ස්ප්‍රස් පර්ල්‘ අනතුරින් අපහසුතාවයට පත් ධීවරයන්ට වන්දි

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් ආර්ථික අපහසුතාවයට පත් ධීවරයන්ට වන්දි මුදල් ලබාදීම කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සහ ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නැති දේවල් මවාපා රණ්ඩු කරගත්තොත් ලැබෙන්න තියෙන වන්දි මුදල් නොලැබීයාමේ අවධානමක් පවතින බවයි.
 
එබැවින් සියලුමදෙනා එකමුතුව එකට සිට කටයුතු කරමින් මෙම ප්‍රශ්නය ජය ගැනීමට කටයුතු කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.
 
මෙරට මුහුදු තීරයේදී ගිනිගෙන විනාශයට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව⁣ හේතුවෙන් ආර්ථික අපහසුතාවයට පත් ධීවර ප්‍රජාවට වන්දි මුදල් ලබාදීමේ අවස්ථාවට ඊයේ (17) එක්වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසීය.
 
මෙම නෞකා අනතුර හේතුවෙන් අගතියට පත් ධීවර ප්‍රජාවට අංශ 27ක් යටතේ අදියර තුනකට මේ වනවිට රුපියල් මිලියන 1000ක පමණ වන්දි මුදලක් ලබාදී ඇත.
 
මෙවර ලබාදෙනු ලැබුවේ සිව්වැනි අදියරේ වන්දි මුදලය. මෙහිදී නෞකා අනතුර හේතුවෙන් අගතියට පත් ධීවරයන් 300 දෙනෙකුට අමාත්‍යවරයා විසින් වන්දි මුදල් ප්‍රධානය කරනු ලැබිණ.
 
මීගමුව නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැති එම උත්සවයේදී නගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
 
“එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හා නිව් ඩයමන්ඩ් නෞකා අනතුරු දෙකෙන් මෙරට පරිසරයට සිදුවූ හානිය අති විශාලයි. නෞකා අනතුරු අපට අලුත් අත්දැකීමක්. ඒනිසා නිව් ඩයමන්ඩ් නෞකා අනතුර සම්බන්ධයෙන් රජයට ලැබිය යුතු වන්දි මුදල් අපට  ලබා ගන්න අපහසු වුණා. නමුත් එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් ආර්ථික අපහසුතාවයට පත් කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ට පිහට වෙන්න අපිට පුළුවන් වුණා.මේ වන්දි මුදල් ලැබෙන්නේ රජයේ මැදිහත්වීම මතයි. 
 
මේ නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කරන මීපා ආයතනය තියෙන්නේ මගේ අමාත්‍යංශය යටතෙයි.ඒ අයතනයේ උපදේශක මණ්ඩලයක් මගින් අපි තොරතුරු ලබාගන්නවා. කලින් හිටපු  අලී සබ්රි ඇමතිතුමා  හා වර්තමානයේ අධිකරණ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන විජයදාස රාජපක්ෂ ඇමතිතුමත් මේ වන්දි මුදල් ලබාගැනීමට වෙහෙස මහන්සිවෙලා වැඩ කළා.“
 
ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන,මීගමුව නගර සභාවේ  හිටපු නගරාධිපති දයාන් ලාංසා, මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂ් පතිරණ,හිටපු නාගරික මන්ත්‍රීවරුන්,ධීවර සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

නව අදහස දක්වන්න