පියා - පුංචි පුතු පදික මාරුවේදී හිටපු මන්ත්‍රීගේ ජීප් රියට බිලි | දිනමිණ

පියා - පුංචි පුතු පදික මාරුවේදී හිටපු මන්ත්‍රීගේ ජීප් රියට බිලි

මහනුවර පාතහේවාහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ගාමිණී විජයබණ්ඩාර විසින් පදවන ලද පැජරෝ වර්ගයේ ජීප් රථයක ගැටී 11 හැවිරිදි පාසල් සිසුවකු හා ඔහුගේ පියා මියගොස් ඇත.

අනතුර මහනුවර ධර්මරාජ විදුහල් මංසන්ධියේ පදිකමාරුව මතදී පෙරේදා (16) පස්වරු 6.00ට පමණ සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචිව සිටි චන්දික සම්පත් රොද්‍රිගෝ සහ විමන්ත රොද්‍රිගෝ නමැති ඔහුගේ පුතාය.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින පුතා පෞද්ගලික පන්තියකට රැගෙන ගොස් ආපසු නිවෙස බලා යමින් සිටියදී ඔවුන් දෙදෙනා අනතුරට ලක්ව තිබෙන බව පොලිසිය පවසයි. පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාතහේවාහැට ආසන සංවිධායක ගාමිණී විජයබණ්ඩාර නමැති අය මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු මෙන්ම ගඟවට කෝරළය ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකි.

සැකකරු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනාත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

සැකකරු කරාතේ ක්‍රීඩා උපදේශකවරයකු වන අතර ඔහු කරාතේ පන්තියක් නිම කර ආපසු නිවෙස බලා යමින් සිටියදී මෙම අනතුරුව සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ. පියාගේ අතේ එල්ලී පාර මාරු වෙමින් සිටි දරුවා වාහනයේ ගැටීමෙන් පසු අඩි 15ක් පමණ ඉදිරියට විසි වී ගොස් ඇදවැටී තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.

බරපතළ තුවාල ලද පිය පුතු දෙපළ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියා රාත්‍රී 8.30ට පමණ මියගොස් තිබේ. පුතා මියගොස් ඇත්තේ ඊට පැය දෙකකට පමණ පසුය.

මියගිය චන්දික සම්පත් රොද්‍රිගෝ නමැති අය කුණ්ඩසාලේ ප්‍රදේශයේ වාහන දුම් පරීක්ෂණ සහතික නිකුත් කරන ස්ථානයක සේවය කරන අතර ඔහු මියගිය දරුවාට අමතරව අවුරුදු නවය හා තුන වයසේ පසුවන තවත් දියණියන් දෙදෙනකුගේ පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සැකකරු රිමාන්ඩ්

නව අදහස දක්වන්න