ආරක්‍ෂක ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ඉදිරියේදී පියවර ගන්නවා | දිනමිණ

ආරක්‍ෂක ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ඉදිරියේදී පියවර ගන්නවා

ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්හි ප්‍රමාණය ක්‍රමයෙන් සංඛ්‍යාත්මකව නිවැරැදි, අනුමත ප්‍රමාණයට ගෙනවිත් සම්මත හමුදාමය රාජකාරීන් සඳහා යෙදවීමට පියවර ගනු ලබන බව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු කාර්යාංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් (Afreen Akhter) මහත්මිය සමඟ පැවති සුහද සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සබැඳිව ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා නියෝජ්‍ය සහකාර ලේකම් අක්තර් මහත්මිය වෙත පසුගිය දා (15) කොළඹ පිහිටි ඇමැතිවරයාගේ කාර්යාලයේ පැවති රැස්වීමකදී මෙම අදහස් පළ කෙළේය.

එක්සත් ජනපදය ලබාදී ඇති සහයෝගීතා ක්‍රියාමාර්ග පිළිබඳ සිහිපත් කළ රාජ්‍ය ඇමැති තෙන්නකෝන් දෙරට අතර හමුදාමය සහ ආරක්‍ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ නව මංපෙත් පිළිබඳව ද සාකච්ඡා කෙළේය.

සමුද්‍රීය දැනුම්වත්භාවය සහ සමුද්‍රීය ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා එක්සත් ජනපදය දරන උත්සාහයන් සහ ආරක්‍ෂක ප්‍රතිපත්තියේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ අනෙකුත් කලාපීය ගැටලු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් පිළිබඳව ද මෙහිදී පැවැති ඵලදායි ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී වැඩිදුරටත් සාකච්ඡා කරන ලදි.

ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් හට විදේශ සාම සාධක රාජකාරීන්හි අවස්ථා පිළිබඳව කරුණු ද මෙම සාකච්ඡාවේදී රාජ්‍ය ඇමැතිවරයාගේ විශේෂ අවධානයට ලක්විය.

මෙම‌ හමුව සංකේතවත් කරමින් නියෝජ්‍ය සහකාර ලේකම්වරිය, රාජ්‍ය ඇමැතිවරයා වෙත සුහදතාවයේ සංකේතයක් ලෙස සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කළාය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඩග්ලස් ඊ. සොනෙක් (Douglas E. Sonnek), තානාපති කාර්යාල නිලධාරීන් සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න