හැටනව වියැති සැකකරු සහ අසූතුන් හැවිරිදි සැකකාරිය රිමාන්ඩ් | දිනමිණ

හැටනව වියැති සැකකරු සහ අසූතුන් හැවිරිදි සැකකාරිය රිමාන්ඩ්

 

වසර 34කට පසු හෙළිවූ ඌරුබොක්කේ ජිනදාසගේ ඝාතනය:

1989 වසරේදී බිරිය විසින් අනියම් පුරුෂයා ලවා සිය සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දෙදෙනා මෙමස 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් මොරවක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ගිහාන් දුමින්ද බස්නායක මහතා නියෝග කළේය.

ඌරුබොක්ක, ගින්නලිය, පුවක්දොළහේන පදිංචි සමරප්පුලිගේ සෝමදාස (69) සහ කටුවන, උඩගොමස්ස, මැදකන්ද, ගලගන්දාව ගෙදර පදිංචි විතාරණ ගමගේ රොසලින් (83) යන දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඝාතනයට ලක් වූ කපුගේ ජිනදාස යන අයගේ වැඩිමහල් පුතා වන කපුගේ සුනිල් යන අය විසින් 119 දුරකතන අංකයට 2022.12.10 දින මේ ඝාතනය පිළිබඳ දැනුම්දී තිබුණු අතර, ඉන් අනතුරුව ඌරුබොක්ක පොලිසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වා ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරියගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන ඒ පිළිබඳව මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු දක්වා තිබේ. මේ සිරුර වළ දැම්මේ කොහේද කියා සොයාගැනීමට දිගින් දිගටම පරීක්ෂණ පවත්වා වැඩිමහල් පුතා වන සුනිල් යන අය පොලිසියට කැඳවා 2023.05.11 දින පැමිණිල්ලක් සටහන් කර ගැනීමෙන් පසු මළ සිරුර ගොඩගැනීමේ කටයුතු සිදු විය. එම ශරීර කොටස් ගොඩ ගැනීම මොරවක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ගිහාන් දුමින්ද බස්නායක මහතා ඉදිරියේ ඉකුත් 15 දින සිදු වූ අතර, එහිදී මියගිය පුද්ගලයාගේ අස්ථි කොටස් දෙකක්, දත් කිහිපයක්, සරොම් දෙකක්, ජනෙල් රෙද්දක්, කොට්ටඋර තුනක්, ටීෂර්ට් එකක්, ඉණේ බඳින නූලක්, පෝර උර කැබලි, චීත්ත රෙද්දක් ඇතුළු භාණ්ඩ කීපයක් මෙම කැණීම්වලදී හමු විය. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ බිරිය විසින් තම ස්වාමියා මිය යන විට ඇඳ සිටි ඇඳුම් බවට හඬා වැලපෙමින් මහේස්ත්‍රාත් ඉදිරියේ පිළිගත්තාය. එම ශරීර කොටස් මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි අධිකරණ විශේෂඥ වෛද්‍ය බුද්ධික ලේල්වල මහතාට භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය. හමුවූ රෙදි කැබලි ඇතුළු දේ පොලිසිය භාරයට ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදි.

මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට කිසිවකු සිටී නම් ඉදිරිපත් වන ලෙසද මෙහිදී ඉල්ලීමක් කරන ලදි. එහිදී කිසිවකු ඉදිරිපත් නොවූ අතර, කාට හෝ ප්‍රකාශයක් සිදු කිරීමට තිබේ නම් අධිකරණයට පැමිණ තමා දැනුම්වත් කරන ලෙසද පොලිසියට නියෝග කරන ලදි. ඒ අනුව සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා පෙරේදා (16) රාත්‍රියේ ඌරුබොක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඊයේ (17) පස්වරුවේ මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 23 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොරවක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ගිහාන් දුමින්ද බස්නායක මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඌරුබොක්ක, ගින්නලිය, පුවක්දොළහේන පදිංචි සමරප්පුලිගේ සෝමදාස (69) සහ කටුවන, උඩගොමස්ස, මැදකන්ද, ගලගන්දාව ගෙදර පදිංචි විතාරණ ගමගේ රොසලින් (83) යන දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සමරප්පුලිගේ සෝමදාස දෙදරු පියෙකි. විතාරණගමගේ රොසලින් තිදරු මවකි.

පැමිණිල්ල වෙනුවෙන් ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.පී.ඩබ්ලිව්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් අනුව කොස්තාපල් ධනුෂ්ක (78230), කාන්තා පොලිස් සැරයන් ගීතිකා (520) යන නිලධාරීහු පෙනී සිටියහ. කපුගේ ජිනදාස යන තිදරු පියා 1989 වර්ෂයේ අභිරහස් ලෙස මරා දමා වැසිකිලි වළට දමා වසා දැමීම පිළිබඳ ලද තොරතුරක් මත පරීක්ෂණ සිදුකොට මෙම අපරාධයේ සුලමුල හෙළිකර ගැනීමට පොලිසිය කටයුතු කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.

ඒ.පී. දයාචන්ද්‍ර - ඌරුබොක්ක විශේෂ

නව අදහස දක්වන්න