ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන
රටේ යහපත වෙනුවෙන් ආරම්භ කළ සියලු වෙනස්කම් සිදු කර මිස අප ඉවත්ව යන්නේ නැතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා පවසයි.
ඇමැතිවරයා එසේ පැවසුවේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කරන ලද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පුරප්පාඩු සඳහා කැබිනට් අනුමැතිය සහිතව බඳවාගත් රියැදුරු සහ කොන්දොස්තරවරුන් පිරිසකට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. නාරාහේන්පිට ජාතික ප්‍රවාහන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පැවති මේ වැඩ සටහනේදී තව දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා:
“රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීම ප්‍රතිපත්තියක් ලෙස අත්හිටුවා ඇති අවස්ථාවක වුවත්, අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම්කර තිබෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවා අඛණ්ඩව පවත්වා ගෙන යෑමේ වැදගත්කම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින්, විශේෂ අවශ්‍යතාවක් ලෙස ඔබට මෙම පත්වීම් පිරිනැමීමට ලැබීම සුවිශේෂ අවස්ථාවක් කොට සලකනවා.
“මීට පෙර බලය හෙබවූ සෑම රජයක්ම පාහේ සිදු කළ ආකාරයට දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගනිමින් මින් ඉදිරියට ප්‍රාග්ධන වියදම් සිදු කිරීමට අපට හැකියාවක් නැහැ. පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් දේශපාලනඥයන් සතුව නැහැ. ඊට විසඳුම් දිය හැක්කේ ඒ ඒ ආයතන වශයෙන් සේවය කරන ඔබට, අපටම පමණයි. ඒ සඳහා මෙම ආයතන පාඩු නොලබන තත්ත්වයට පත් කළ යුතුයි. සිදු වන වංචා, දූෂණ සහ අක්‍රමිකතා මැඬ පැවැත්විය යුතුයි.
“අප මේ ගත කරමින් සිටින්නේ දැනුම ප්‍රාග්ධනය බවට පත්වන යුගයක්. යහපත් හෙටක් උදෙසා තාක්ෂණික දැනුමින් සන්නද්ධ වීම අත්‍යවශ්‍යයි. අනාගත ලෝකයේ ඉහළම ඉල්ලුමක් පවතින්නේ තාක්ෂණික දැනුමින් යුතු වෘත්තිකයන් හටයි. රටේ පවතින විදේශ විනිමය හිඟයට ද ප්‍රධාන විසඳුමක් ලෙස තොරතුරු තාක්ෂණ දැනුමින් සන්නද්ධ පුහුණු ශ්‍රමිකයින් වශයෙන් තරුණ පරපුර ඉදිරියට ගෙන ඒම සිදු කළ යුතුයි. අපේ පරපුරට කරන්න නොහැකි වූ දේ කරන්නට අපේ දරුවන්ට ඉඩ සලසා දිය යුතුයි. කෘතිම බුද්ධිය ( artificial intelligence) භාවිත කරමින් සියලු කටයුතු කරගන්නා තත්ත්වයට ලෝකය පත්ව තිබියදී, අපද එම ඩිජිටල්කරණය වෙත යා යුතුයි. ඒ වෙනුවෙන් තවත් මාස තුනක් තුළ පොදු ප්‍රවාහනයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණ ඩිජිටල් මාධ්‍යයට පරිවර්තනය කරන්නට අවශ්‍ය පියවර අපි ගන්නවා. දියුණු රටවල භාවිත කරන ආකාරයේ පොදු ප්‍රවාහනයේ නවීන තාක්ෂණික ක්‍රමවේද අපේ රටටත් හඳුන්වා දිය යුතුයි. ඊට බාධා සිදු කරන ඕනෑම අයෙකු පිළිබඳව අවශ්‍ය විනයානුකූල පියවර ගැනීමට අප පසුබට වන්නේ නැහැ. රටේ යහපත වෙනුවෙන් සිදු කරන්නට ආරම්භ කළ මෙම වෙනස්කම් සිදු කර මිස අප ඉවත්ව යන්නේ නැහැ.
සෑම විටම රැකියාවක් පමණක් නොව මිනිසුන් උදෙසා කරන සේවයක් ලෙස සලකමින් මේ තනතුරුවල කටයුතු කිරීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතුය.“
මේ අවස්ථාවට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, ජාතික ප්‍රවාහන කොමිසමේ සභාපති ශෂී වෙල්ගම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහ පත්වීම්ලාභීහු පිරිසක් සහභාගි වූහ.
නව අදහස දක්වන්න