ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධූරයට පත්ව සිටි දොඩම්පහළ චන්දසිරි හිමියෝ වයෝවෘද්ධ තපෝවෘද්ධ ගුණවෘද්ධ සංඝ පිතෘවරයෙකි.
දක්ෂිණ ලංකාවේ මාතර දිස්ත්‍රික්කයේ දොඩම්පහළ ග්‍රාමයේ 1939දී ජන්ම ලාභය ලැබූ උන්වහන්සේගේ මව්පියන් වූයේ එදිරිවීර පටබැඳිගේ සර්නේලිස් සිල්වා හා එදිරිසූරිය පටබැඳිගේ නිසිනෝනා යුවළයි. උන්වහන්සේ තම මූලික අධ්‍යාපනය - කුඩාවැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් ලබා වයස අවුරුදු 11දී 1950 නොවැම්බර් 25 වැනි දින කුඩාවැල්ල වාලුකාරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වූහ. චන්දසිරි මා හිමියන් 1962 ජූනි 17 වැනි දින මාතර සද්ධාරාම නායක ස්වාමීන් වහන්සේ හා කල්‍යාණවංශ නිකායේ මහා නායක මාතර මේධානන්ද නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 1964 උපසම්පදාව ලැබීය.
1962 කොළඹට පැමිණි චන්දසිරි හිමිපාණන් 1963 කුඩාවැල්ලේ වංගීස හිමියන්ගේ අනුශාසනා පරිදි පිහිටු වූ කලපලුවාවේ ගෝතම තපෝවනයේ වැඩ වෙසෙමින් මහණ දම් පිරූහ. කුඩාවැල්ලේ වංගීස හිමියන්ගේ අනුශාසනා මත පිහිටු වූ මහනුවර උඩවත්ත කැලේ අරහත්ත තපෝවනය, මිහින්තලේ කළුදිය පොකුණ තපෝවනය, කෑගල්ල අභය භූමි තපෝවනය හා කතරගම මාතික මාතා තපෝවනයේ ප්‍රථම වස් සමාදන් වීම චන්දසිරි හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුවිය. 1983 කුඩාවැල්ලේ වංගීස හිමියන්ගේ අපවත් වීමෙන් පසු කොළඹට තදාසන්න රමණීය පින්බිමක් වූ කලපලුවාව ගෝතම තපෝවනයේ අධිපති ධුරයට චන්දසිරි හිමියන් පත්විය. අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි හිමිපාණන්ගෙන් පැවිදි භාවය ලැබූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිස දහසකට අධිකය.
අපවත් වී වදාළ පාණදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ, වර්තමානයේ ආසියාවේ ප්‍රධාන සංඝනායක ධුරය හොබවන තපෝවනයේ මිත්තභානි හිමි, හොනොලුලු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තපෝවනයේ සුතරධ හිමි, කෑගල්ල අභයභූමි තපෝවනයේ නිවාත හිමි, මහරහතුන් වැඩි මඟ ඔස්සේ ධර්මදේශක රාජගිරියේ අරියඥාන හිමි හා මහමෙවුනා අසපු නිර්මාතෘ කිරිබත්ගොඩ ඥානානන්ද හිමි, මහා නායක චන්දසිරි හිමිපාණන්ගේ ශිෂ්‍ය පිරිසෙන් සමහරෙකි. ශ්‍රී ලංකාවේ වැඩ සිටින මහා නායක හිමිපාණන් අතරින් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන නිරහංකාර ගතිගුණ ඇති අපගේ මහා නායක හිමිපාණන් තීන්දු තීරණ ගැනීමේදී ධර්මානුකූලව කටයුතු කළ බව නොරහසකි.
උතරු නැඟෙනහිර ත්‍රස්තවාදී ක්‍රියා සිදුවෙද්දී උතුරු නැඟෙනහිර සිද්ධස්ථානවලට සංචාරය කර දුෂ්කරතා මැද වැඩ සිටි සංඝරත්නයට ශක්තිය ලබා දුනි. පෑන අවියක් කර ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේ සටනේ පෙරමුණේ ක්‍රියා කළ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි වැඩ සිටි කුටිය සංරක්ෂණය කර කෞතුකාගාරයක් බවට පත් කිරීම මහා නාහිමියන්ගේ අනුශාසනා මත සිදු විය.
අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ අපවත් වීමෙන් පසු 2021 ජූලි මස චන්දසිරි මහා නාහිමියෝ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට පත්වූහ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ
උප සභාපතිනි වෛද්‍ය රාණි ප්‍රනාන්දු
නව අදහස දක්වන්න